තමන්ගේ ජීවිතයේ ලොකුම හීනය හැබෑ කරගන්න ඔන්න මෙන්න තියෙද්දී, හදිසියේම අහන්න ලැබෙන මරණ පණිවිඩයක් නිසා මුළු ජීවිතයම වෙනස්ම මාවතකට හැරෙන ආකාරය නිරූපණය කරන ඉතාමත් සංවේදී ස්පාඤ්ඤ සිනමාපටයක් තමයි "The Remnants of You" කියන්නේ. ස්පාඤ්ඤ බසින් මෙය "Lo que queda de ti" ලෙස හැඳින්වෙනවා. පසුගිය 2025 වසරේ මැයි 16 වෙනිදා තිරගත වුණු, විනාඩි 91ක් පුරා දිවෙන මේ නිර්මාණයට IMDb දර්ශකයේ 6.5ක සාධාරණ හොඳ ප්‍රේක්ෂක අගයක් ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂිකා ගාලා ග්‍රාසියා (Gala Gracia) ගේ අපූර්ව සිනමා රටාවකින් හැඩවුණු මෙය, වේගවත් සිදුවීම් වෙනුවට මිනිස් සබඳතා, පවුලේ බැඳීම් සහ සහෝදරත්වය අතර ඇතිවන මානසික හැලහැප්පීම් ගැඹුරින් පෙන්වන නිදහස් Drama ගණයේ නිර්මාණයක්. කතාව පැත්තට හැරුණොත්, සාරා (Laia Manzanares) කියන්නේ නිව්යෝර්ක් නගරයේ තමන්ගේ පළමු ජෑස් පියානෝ ප්‍රසංගය පවත්වන්න සියල්ල සූදානම් කරගෙන ඉන්න දක්ෂ තරුණියක්. නමුත් ඇගේ පියා වන ජුලියෝ හදිසි අනතුරකින් මියගිය බව අසන්නට ලැබීමත් සමඟ ඇගේ මුළු ලෝකයම කඩා වැටෙනවා. ඇයට තමන්ගේ සංගීත කටයුතු අතරමඟ නතර කරලා නැවතත් ස්පාඤ්ඤයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි තමන්ගේ මහගෙදරට එන්න සිද්ධ වෙනවා. ඇගේ පියා ජීවත් වුණේ සොබාදහමට සහ සතුන්ට දැඩිව ආදරය කරමින්, සාම්ප්‍රදායික ක්‍රමයට බැටළුවන් පාලනය කරපු ගොවියෙක් විදිහටයි. පියාගේ මරණයෙන් පසු සාරාට සහ ඇගේ සොහොයුරිය වන එලේනාට (Ángela Cervantes) උරුම වෙන්නේ පියා පණ මෙන් බලාගත්තු බැටළුවන් 304 දෙනෙකුගෙන් යුත් විශාල රංචුවක්. ගොවිපොළේ වැඩකටයුතු තනියම කරගන්න අපහසු නිසා එලේනා උත්සාහ කරන්නේ මේ බැටළු රංචුව ජර්මානු ජාතිකයෙකුට විකුණා දමන්නයි. නමුත් පියාගේ වියෝව දරාගන්න බැරුව ඉන්න සාරාට පියාගේ අවසන් මතකය සහ උරුමය විනාශ වෙන්න දෙන්න වුවමනාවක් නැහැ. ඒ නිසා ඇය තමන්ගේ නිව්යෝර්ක් සිහිනය පැත්තකින් තියලා, කිසිම පලපුරුද්දක් නැතිව මේ බැටළුවන් බලාගැනීමේ බරපතළ වගකීම තනියම කරට ගන්නවා. නමුත් නාගරික පරිසරයක සංගීතය එක්ක ජීවත් වුණු සාරාට මේ කටුක ග්‍රාමීය ජීවිතය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. බැටළුවන්ට වැළඳෙන ලෙඩ රෝග, සතුන් පැන යාම වැනි ප්‍රායෝගික ගැටලුවලට අමතරව, ඔවුන්ගේ වයෝවෘද්ධ සීයා වන මවුරෝ (Ruy de Carvalho) මානසිකව ඇද වැටෙයි කියා බයට පියාගේ මරණය ඔහුගෙන් වසං කරන්නත් මේ සහෝදරියන් දෙන්නාට සිද්ධ වෙනවා. තමන්ගේ පියාගේ අන්තිම මතකය වෙනුවෙන් සාරා කරන මේ අපූර්ව ජීවන අරගලය සහ ඇගේ සංගීත සිහිනයට අවසානයේදී කුමක් සිදුවේද යන්න ඉතාමත් ලස්සන පසුබිම් දර්ශන මඟින් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. පවුලේ සැබෑ බැඳීම් සහ සොබාදහමට සමීප නිදහස් සිනමා නිර්මාණ ප්‍රිය කරන අයට මේක කදිම තේරීමක්.