තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් අම්මා කෙනෙකුගේ අතිශය සංවේදී වගේම හදවතට තදින්ම දැනෙන කතාවක් තමයි පසුගිය 2025 නොවැම්බර් මාසයේදී නිකුත් වුණු "On Your Lap" ඉන්දුනීසියානු චිත්‍රපටයෙන් අරන් එන්නේ. විනාඩි 104ක් පුරා දිවෙන මේ සිනමාපටය, නරඹපු රසිකයන්ගේ ඉහළ ප්‍රතිචාර මැද IMDb දර්ශකයේ 8.0ක වැනි ඉතාමත් විශිෂ්ට අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ "සර්ටිකා" නැමැති තරුණ මවයි. ජීවිතේ හැම අතින්ම අන්ත අසරණ වෙන ඇයට, තමන්ගේ එකම පුතා වෙන "බායු" ව ජීවත් කරවන්න ක්‍රමයක් නැතිවෙන තැන, අන්තිමේදී කුඩා කෝපි කඩයක රැකියාවක් ලැබෙනවා. හැබැයි ඒක අපි හිතන විදියේ සාමාන්‍ය කෝපි කඩයක කරන ජොබ් එකක් නෙවෙයි. ඇයට සිද්ධ වෙන්නේ ඒ කඩයට එන පිරිමි අයගේ උකුල මත වාඩිවෙලා (Lap girl කෙනෙක් විදිහට) ඔවුන්ව සතුටු කරන්නයි. තමන්ගේ ආත්මගරුත්වය සම්පූර්ණයෙන්ම පසෙකලා, සමාජයෙන් එන දරුණු ගැරහුම් සහ නින්දා අපහාස මැද වුණත් ඇය හැමදේම ඉවසගෙන මේ රුකියාව කරන්නේ තමන්ගේ දරුවාට හොඳ අනාගතයක් හදලා දෙන්නයි. ආර්ථික අර්බුද හමුවේ සමාජයේ පහළම මට්ටමේ ඉන්න අසරණ මිනිස්සු, විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මුහුණ දෙන මෙවැනි කටුක ඛේදවාචකයන් ඉතාමත් තාත්විකව සහ සජීවීව මේ Drama සිනමාපටය හරහා පෙන්වා දීලා තියෙනවා. හිතට ලොකු බරක් වගේම සංවේදී හැඟීමක් ඉතිරි කරන, සැබෑ ජීවිතයේ රළු ස්වරූපය ගැන කියවෙන වෙනස්ම විදියේ චිත්‍රපට නැරඹීමට ලැදි රසිකයන්ට මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනා උසස් ගණයේ නිර්මාණයක්.