Dating apps පාවිච්චි කරලා ආදරය හොයන නූතන සමාජයේ, තමන්ගේම වාසි සහගත අරමුණු වෙනුවෙන් බොරුවට ආදරය කරන්න පටන් ගන්න අමුතුම ජෝඩුවක් වටා තමයි "Nee Forever" දමිළ චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ. අශෝක්කුමාර් වලයිවනිගේ අධ්‍යක්ෂණයෙන් සහ පුගස් ඊඩ්න්ගේ නිෂ්පාදනයෙන් තිරයට ආපු මේ නිර්මාණය, හිතට කිසිම බරක් නැතුව සරලව වගේම සැහැල්ලුවෙන් රසවිඳින්න පුළුවන් "feel good" ගණයේ ලස්සන Romance Drama එකක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන තරුණයා අලුත්ම විදියේ ඩේටින් ඇප් එකක් නිර්මාණය කරන්න උත්සාහ කරන කෙනෙක්. හැබැයි ගැටලුව වෙන්නේ මිනිහා ජීවිතේටවත් කිසිම කෙනෙක්ට ආදරය කරලා නැති නිසා, ඇප් එක සාර්ථකව නිම කරන්න නම් ආදරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ටිකක් ඔහුට අත්‍යවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් ඉන්න තරුණියට අවශ්‍ය වෙන්නේ අලුත් ආදර කතා චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. හැබැයි ඇයත් ආදරය කියන හැඟීම ගැන කිසිම දෙයක් අත්දැකලා නැති කෙනෙක්. ඉතින් තමන්ගේ මේ පෞද්ගලික නිර්මාණාත්මක අවශ්‍යතා ඉටුකරගන්න බලාගෙන, මේ දෙන්නා එකතු වෙලා එකිනෙකාට බොරුවට ආදරය කරන්න පටන් ගන්නවා. සුධර්ශන් ගෝවින්ද් සමඟ නවක නිළි අර්චනා රවි මෙහි ප්‍රධාන චරිත සඳහා ඉතාමත් සුන්දර රංගනයක් ඉදිරිපත් කරනවා. තමන්ගේ වාසියට පටන් ගත්තු මේ බොරු ආදර සෙල්ලම ඇතුළේ ඔවුන්ගේ සැබෑ අරමුණු ඉටුවෙයිද, නැත්නම් මේ කරන රඟපෑම එකිනෙකාට අහුවෙලා මුළු සැලසුමම අවුල් වෙලා යයිද කියන එක මිනිත්තු 133ක ධාවන කාලය පුරාවටම බලාගන්න පුළුවන්. රංගනයට අමතරව මේ චිත්‍රපටයේ තියෙන මනරම් පසුබිම් සංගීතය වගේම මෙහි ඇතුළත් වන ගීත යුගලයත් කතාවේ තියෙන ආදරණීය වයිබ් එක තවත් හැඟීම්බර කරන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා. IMDb දර්ශකයේ 6.0ක සාධාරණ අගයක් අරන් තිබෙන මේ සිනමාපටය, සාම්ප්‍රදායික රණ්ඩු සරුවල් හෝ දරුණු හැලහැප්පීම්වලින් තොරව, ලස්සන සිංදු ටිකක් අහන ගමන් නිදහසේ කාලය ගත කරන්න කියාපුම වෙනස්ම විදියේ ආදර කතාවක්.