ජීවත් වීමේ අරගලය, වෘත්තීය ජීවිතයේ තියෙන දැඩි පීඩනය, ආර්ථික බිඳවැටීම් සහ දූෂිත පරිසරය වැනි හේතූන් නිසා අලුත් ජීවියෙක් මේ බිහිසුණු ලෝකයට බිහි කිරීම සාධාරණද යන සදාචාරාත්මක සහ සංවේදී ප්‍රශ්නය සමාජය හමුවේ තබන අපූරු තායිලන්ත සිනමාපටයක් තමයි "Human Resource" කියන්නේ. 2025 වසරේ වෙනිස් සිනමා උළෙලේදී (Venice Film Festival) විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්වූ, "Fast & Feel Love" සහ "Happy Old Year" වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ප්‍රසිද්ධ තායිලන්ත සිනමාකරු නවපෝල් තම්රොන්ග්‍රටනරිට් (Nawapol Thamrongrattanarit) ගේ මෙම නිර්මාණය 2026 ජනවාරි 29 වෙනිදා ප්‍රසිද්ධියේ තිරගත වුණා. විනාඩි 122ක් පුරා දිවෙන මේ සලරුව සෙමින් ගලායන සැබෑ සමාජ තත්ත්වයන් නිරූපණය කරන Slow-burn Indie Drama ගණයේ විශිෂ්ට සිනමාපටයක් වන අතර IMDb දර්ශකයේ 6.3ක සාධාරණ අගයක් ලබාගෙන තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, ප්‍රෙන් (Prapamonton Eiamchan) කියන්නේ දැඩි නීති රීති සහ ආයතනික පීඩනයක් සහිත කාර්යාලයක සේවය කරන මානව සම්පත් (HR) කළමනාකාරවරියක්. ඇගේ ප්‍රධානියා වන ජැක් (Jak) කියන්නේ සේවකයන්ට කඩදාසි මිටිවලින් පවා දමා ගසන, අතිශය කෝපාවිෂ්ඨ සහ දරුණු පුද්ගලයෙක්. මේ රැකියා පරිසරයේ ඇතිවන මානසික ආතතිය දරාගත නොහැකිව ප්‍රෙන්ගේ සමීපතම සේවිකාවක වන ජූන් (June) හදිසියේම මිය යනවා. මේ කම්පන සහගත සිදුවීම් මාලාව අතරතුර, ප්‍රෙන් තමන් ගැබ්ගෙන ඇති බව දැනගන්නවා. වායු දූෂණය (PM 2.5), ජලයට විෂ කැඩ්මියම් එකතුවීම වැනි පාරිසරික ව්‍යසනයන් මෙන්ම ආර්ථික සහ සමාජයීය අර්බුද පිරුණු මේ වටපිටාව තුළ, තමන්ගේ දරුවාව මෙලොවට බිහිකළ යුතුද යන ද්වන්ධ සටන ඇගේ සිත තුළ හටගන්නවා. තායිලන්තයේ පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව සති 12ක් (මාස 3ක්) ඇතුළත ගබ්සාවක් සිදු කිරීමට නීත්‍යානුකූල අවසරය හිමිවෙනවා. මේ අනුව, ලැබෙන්න ඉන්න දරුවාගේ අනාගතය සහ වත්මන් සමාජයේ කටුකත්වය ගැන සලකා බලා ප්‍රෙන් සහ ඇගේ සැමියා වන තේම් (Paopetch Charoensook) තමන්ගේ ජීවිතයේ ගන්නා වැදගත්ම සහ දරුණුම තීරණය කුමක්ද යන්න ඉතාමත් සංවේදී සහ තාත්වික අයුරින් මෙහි දිගහැරෙනවා. මිනිස් මනසේ ඇතිවන ආතතිය, මාතෘත්වය සහ නූතන සමාජ ක්‍රමයේ ඇති ආත්මාර්ථකාමීත්වය පිළිබඳව වෙනස්ම කෝණයකින් සහ ගැඹුරින් සිතන්නට පොළඹවන මෙම සිනමාපටය, Drama ශානරයේ සබුද්ධික නිර්මාණ ප්‍රිය කරන රසිකයන්ට කදිම සිනමා අත්දැකීමක් ගෙනෙනු ඇත.