නීතිය, යුක්තිය සහ අපරාධය අතර තියෙන සීමාවන් සම්පූර්ණයෙන්ම බොඳ වෙලා ගියොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? තමන් විසින්ම කරපු අපරාධයකට තමන්ම උසාවියට භාර වෙලා, තමන්ටම එරෙහිව නඩු පවරාගන්නා අපූරු පුද්ගලයෙක් ගැන කියවෙන අලුත්ම තෙළිඟු සිනමා නිර්මාණයක් තමයි "Euphoria" කියන්නේ. පසුගිය 2026 පෙබරවාරි 6 වෙනිදා තිරගත වුණු, විනාඩි 148ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Legal Thriller සහ Drama ශානරයන් ඔස්සේ නිමවා ඇති අතර IMDb දර්ශකයේ 7.0ක ඉතාමත් හොඳ ප්‍රේක්ෂක අගයක් ලබාගෙන තිබෙනවා. කතාව පැත්තට හැරුණොත්, මුළු සිනමාපටයම පාහේ ගලාගෙන යන්නේ උසාවි කාමරයක් (Courtroom) ඇතුළතයි. සාමාන්‍යයෙන් උසාවියකදී පැමිණිලිකරු සහ විත්තිකරු කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් වුණත්, මෙහිදී පැමිණිලිකරුත් විත්තිකරුත් වෙන්නේ එකම කෙනෙක් වීම විශේෂත්වයක්. "හරි" සහ "විකාස්" යන චරිත ද්විත්වය හරහා දිගහැරෙන මේ අඳුරු, සංකීර්ණ නඩු විභාගය පිටුපස තියෙන්නේ නිකම්ම නිකන් අපරාධයක් විතරක් නෙවෙයි. නීති පද්ධතියේ තිබෙන හිඩැස්වලින් ප්‍රයෝජන ගන්නා අතරතුර, මිනිස් ස්වභාවයේ තියෙන අඳුරුතම පැතිකඩවල් සහ පලිගැනීමේ චේතනාවන් මෙහිදී කරළියට පැමිණෙනවා. අවසානයේදී මේ නඩුව මෙහෙයවන මහේස්ත්‍රාත්වරයාගේ සුවිශේෂී මැදිහත්වීම නිසා, වැරදිකරුවෙකුට ලැබෙන "නව ජීවනයක්" පිළිබඳව ඉතාමත් තියුණු ලෙස මෙහි විග්‍රහ කර තිබෙනවා. උසාවි කාමරය ඇතුළේ සිදුවන තියුණු දෙබස් හැරවීම්, බුද්ධිමත් උපක්‍රම සහ තත්පරයෙන් තත්පරයට වෙනස් වන කුතුහලය පිරි කතා තේමාවන් නරඹන්න කැමති සිනමා රසිකයන්ට, මේ තෙළිඟු සිනමා නිර්මාණය වෙනස්ම විදියේ ගුණාත්මක අත්දැකීමක් ගෙන දෙනු නොඅනුමානයි.