Sold Out on You (2026) (කොරියානු බසින් 'Today, Sold Out Again') කියන්නේ SBS සහ Netflix නාලිකා ඔස්සේ පසුගිය අප්‍රේල් 22 වෙනිදා සිට විකාශනය ආරම්භ වුණු, කාර්යබහුල ජීවිතය නිසා තමන් ගැන සොයා බැලීමට අමතක වූ දෙදෙනෙකුගේ හමුවීමක් තේමා කරගත්තු කොටස් 12කින් යුත් අපූරු කොරියානු (K-Drama) ටෙලි කතාමාලාවක්. Romantic Comedy, Workplace සහ Healing ශානරයන් ඔස්සේ නිමවා ඇති මෙම නිර්මාණයට ප්‍රේක්ෂකයන්ගෙන් IMDb දර්ශකයේ 6.8ක හොඳ අගයක් ලැබී තිබෙනවා. මෙහි කතාව ගෙතෙන්නේ රූපවාහිනී වෙළඳ (Home Shopping) නාලිකාවක සේවය කරන, ඇය ප්‍රවර්ධනය කරන ඕනෑම භාණ්ඩයක් ක්ෂණිකව විකිණී අවසන් වන තරමට අතිදක්ෂ නිවේදිකාවක වන දම් යේ-ජින් (Chae Won-bin) වටා වන අතර, ඇය සිය රැකියාවේ සාර්ථකත්වය වෙනුවෙන් අධික ලෙස කැපවී වැඩ කිරීම නිසාම දරුණු නින්ද නොයාමේ රෝගයකින් (Insomnia) පීඩා විඳිනවා. මේ අතර ඇයට සිය වෘත්තීය කටයුතු නිසා නිතරම මුණගැසීමට සිදුවන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන මැතිව් ලී (Ahn Hyo-seop) සහ ප්‍රංශ රූපලාවන්‍ය සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙකු වන කිම් බම් (Kim Bum) යන බලවත් ව්‍යාපාරිකයන් දෙදෙනාවයි. ලෝකයේ පවතින ආශ්චර්යමත් රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් නිපදවන ගොවිපළක හිමිකරුවාද වන මැතිව් ලී බාහිරින් පරිපූර්ණ ලෙස පෙනුනත් ඔහුද සිත තුළ කවුරුත් නොදන්නා අඳුරු රහසක් සඟවාගෙන සිටින අතර, රැකියාව නිසා දිවා රාත්‍රී දෙකෙහිම නිතර මුණගැසෙන යේ-ජින් සහ මැතිව් ලී තමන්ගේ හදවත්වල ඇති හිස්කම හඳුනාගෙන එකිනෙකාගේ මානසික තුවාල සුවපත් කරගන්නා ආකාරයත්, හාස්‍යය සහ ආදරය මැදින් ඔවුන් ගොඩනගාගන්නා සුන්දර සබඳතාවයත් මෙම කතාමාලාව පුරාම ඉතාමත් සන්සුන් ලෙස දිගහැරෙනවා.