Kaptaan (2026) කියන්නේ පසුගිය අප්‍රේල් 3 වෙනිදා සිට විකාශනය ආරම්භ වුණු, සාමාන්‍ය අධිකරණ පද්ධතිය අභිබවා පාතාලයේ නීතිය රජකරන භයානක නගරයක සිදුවන දරුණු බල අරගලයක් සහ පොලිස් මෙහෙයුම් තේමා කරගත්තු අලුත්ම ඉන්දියානු අපරාධ විමර්ශන ටෙලි කතාමාලාවක්. Crime, Drama සහ Thriller ශානරයන් ඔස්සේ නිමවා ඇති මෙම නිර්මාණයට ප්‍රේක්ෂකයන් අතරින් ඉහළ අවධානයක් ලැබෙමින් පවතිනවා. මෙහි කතාව ගෙතෙන්නේ ජ්වලබාද් (Jwalabad) නමැති දූෂිත නගරයේ පාතාලය මර්දනය කිරීම සඳහා පැමිණෙන, අපරාධකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිත ලෙස ක්‍රියා කිරීම නිසාම ප්‍රසිද්ධියට පත් SSP සමර්දීප් (Saqib Saleem) නැමැති ජනප්‍රිය පොලිස් නිලධාරියා වටායි. බාහිරින් ඉතාමත් ශක්තිමත් චරිතයක් ලෙස පෙනුනත් ඔහු සිත තුළද අඳුරු අතීතයක වේදනාකාරී මතකයන් රැසක් සැඟවී තිබෙනවා. රුපියල් කෝටි 180ක දැවැන්ත ව්‍යාපාරික ටෙන්ඩරයක් මුල් කරගනිමින් නගරයේ වෙසෙන මුන්නා, ටින්නු සහ ශාහීන් යන ප්‍රබල පාතාල නායකයන් තිදෙනා අතර ලේ වැකි වීදි යුද්ධයක් ආරම්භ වන අතර, එය මර්දනය කර නගරය පිරිසිදු කිරීමට සමර්දීප් දැවැන්ත මෙහෙයුමක් දියත් කරනවා. නමුත් කතාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙමින් ඔහුගේ පරම සතුරා ලෙස කරළියට පැමිණෙන්නේ අතීතයේදී සමර්දීප්ගේම සමීපතම අනුගාමිකයෙකු ලෙස කටයුතු කළ, වර්තමානයේදී ඔහුගෙන් පළිගැනීමට සැරසෙන කබීර් (Siddharth Nigam) නැමැති තරුණයායි. තමන්ගේ වෘත්තීය රාජකාරිය, පවුලේ ආරක්ෂාව සහ පෞද්ගලික ගෞරවය අතර සිරවන SSP සමර්දීප්, යුක්තිය ඉටු කිරීම සහ පළිගැනීම අතර පවතින සියුම් සීමා මායිම් මතින් සිය සතුරන්ව දණගැස්වීමට දරන ප්‍රවේගකාරී අරගලය මෙම කතාමාලාව පුරාම ඉතාමත් කුතුහලයෙන් යුතුව බලාගත හැකියි.