පාසල් සහ විශ්වවිද්‍යාල වියේදී "කිසිම වැඩකට නැති, අපත කොල්ලන්" ලෙස සමාජයෙන් සහ පවුලෙන් ලේබල් වැදුණු මිතුරන් පිරිසක්, තාරුණ්‍යයේ සැබෑ ජීවන අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පෙන්වූ "Vaazha" පළමු සිනමාපටයේ අතිශය සාර්ථකත්වයෙන් පසුව, එහි දෙවන දිගහැරුම "Vaazha II: Biopic of a Billion Bros" නමින් පසුගිය 2026 අප්‍රේල් 2 වෙනිදා තිරගත වීම ආරම්භ වුණා. විනාඩි 162ක් (පැය 2යි විනාඩි 42ක්) පුරා දිවෙන මේ නවතම මලයාලම් සිනමාපටය Comedy සහ Drama ශානරයන්ට අයත් වන අතර IMDb දර්ශකයේ 7.2ක ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක අගයක් ලබාගෙන තිබෙනවා. පළමු කොටසේ මෙන්ම මෙවරත් තිර රචනය සිදු කර තිබෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු වන විපින් දාස් (Vipin Das) විසින් වන අතර, පළමු කතාවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තු ජොයිමන් ජෝතිර් (Joemon Jyothir), සිජු සනී (Siju Sunny) සහ හෂීර් (Hashir) ඇතුළු තරුණ නළු පිරිස මෙවරත් සිය සුපුරුදු රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්තට හැරුණොත්, පළමු චිත්‍රපටයේ පැවති සැහැල්ලු විනෝදකාමී වටපිටාවට වඩා මෙවර කතාව ආරම්භ වෙන්නේම කිසිවෙකුත් අපේක්ෂා නොකළ දැඩි සංවේදී සිදුවීමකිනුයි. ඒ, තමන්ගේම සහෝදරයෙකු මෙන් ළඟින්ම සිටි සමීපතම මිතුරෙකුගේ හදිසි අවමංගල්‍ය උත්සවයකින්. මේ බලාපොරොත්තු නොවූ වියෝව නිසා දැඩි ලෙස කම්පනයට පත්වන මිතුරන් කණ්ඩායම, එම දරාගත නොහැකි දුක සහ ජීවිතයේ ඇතිවන බිඳවැටීම් මධ්‍යයේ වුවද එකිනෙකාට ශක්තියක් වෙමින් තමන්ගේ අනාගතය වෙනුවෙන් නැඟී සිටින ආකාරය මෙහි දිගහැරෙනවා. පළමු කොටසින් සාමාන්‍ය රස්තියාදුකාර තරුණ ජීවිතය සහ දෙමාපියන්ගේ පීඩනය ගැන කතා කළත්, මෙවර "Vaazha II" තුළින් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මිත්‍රත්වයට එහා ගිය සැබෑ සහෝදරත්වය (Brotherhood) සහ ඕනෑම අසීරු අවස්ථාවකදී තමන්ගේ එකෙකු වෙනුවෙන් නොසැලී පෙනී සිටීම වැනි වටිනා මානුෂීය ගුණාංගයන් පිළිබඳවයි. මුල සිට අගටම මලයාලම් සිනමාවට ආවේණික වුණු උපරිම හාස්‍යජනක ජවනිකා ඇතුළත් වන අතරම, හදවතට තදින්ම දැනෙන, තාරුණ්‍යයේ සුන්දරත්වය වගේම දුකත් එකට මුසු වුණු, පවුලේ අයට මෙන්ම තරුණ රසිකයන්ට එකට වාඩි වී නැරඹිය හැකි කදිම සිනමා නිර්මාණයකි.