දේශපාලනය සහ සිනමාව කියන්නේ දකුණු ඉන්දියාවට, විශේෂයෙන්ම තමිල්නාඩුවට නැතුවම බැරි දේවල් දෙකක්නේ. අන්න ඒ සිනමාවයි දේශපාලනයයි එකට පටලැවුණාම සිද්ධ වෙන දේවල් ගැන හාස්‍යයත් මුසු කරලා හදපු අලුත්ම දෙමළ චිත්‍රපටයක් තමයි "TN 2026" කියන්නේ. පසුගිය අප්‍රේල් 10 වෙනිදා තිරගත වුණු, විනාඩි 138ක් දිවෙන මේ පොලිටිකල් සැටයර් (Political Satire / Comedy Drama) ගණයේ චිත්‍රපටයට IMDb එකේ ලැබිලා තියෙන්නේ 4.6ක වැනි මධ්‍යස්ථ අගයක්. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ ශිවලිංගම් මන්රඩියාර් කියන සල්ලිකාර වගේම ගමේ ලොකු බලයක් තියෙන ඉඩම් හිමියෙක්. මෙයා තමිල්නාඩුවේ හිටපු අතිදැවැන්ත සිනමා තරුවක් වගේම හිටපු දේශපාලන නායකයෙක් වෙන එම්.ජී.ආර් (M.G.R) ගේ අන්වර්ථ රසිකයෙක්. ඔය අතරේ ශිවලිංගම්ට හමුවෙනවා "ගුල්කන්ඩ් කුමාර්" කියලා සිනමාවට එන්න දඟලන නැගී එන නළුවෙක්ව. ගුල්කන්ඩ් කුමාර්ගේ හැසිරීම් දැක්කම ශිවලිංගම්ට හිතෙන්නේ මෙයා තමයි තමිල්නාඩුවේ මීළඟ එම්.ජී.ආර් වෙන්න ඉන්න කෙනා කියලා. මේ පිස්සුව ඔළුවට ගහන ශිවලිංගම් කරන්නේ තමන්ගේ තියෙන මුළු ධනයම, ඉඩකඩම් සහ බලයම වියදම් කරලා මේ නළුවාව සිනමාව ඇතුළෙත්, දේශපාලනය ඇතුළෙත් ඉහළටම ඔසවා තබන්න උදව් කරන එකයි. හැබැයි සේරම සෙල්ලම් මාරු වෙන්නේ කාලයක් යද්දියි. ශිවලිංගම්ගේ සල්ලිවලින් ගුල්කන්ඩ් කුමාර්ගේ ජනප්‍රියත්වය සහ දේශපාලන බලය අහස උසට වැඩි වෙද්දී, මිනිහාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. බලයට තියෙන කෑදරකම සහ අහංකාරකම නිසා, තමන්ව මේ තැනට පත් කරපු ශිවලිංගම් එක්කම මූ වලි දාගන්න පටන් ගන්නවා. තමන් හදපු දේශපාලන බළලා තමන්ටම සිංහයා වෙන්න එද්දී ශිවලිංගම් මොකද කරන්නේ? ඔවුන් දෙන්නා අතර ඇතිවෙන මේ බල අරගලය තමයි කතාව පුරාම තියෙන්නේ. "මිනිස්සුන්ට ආදරය කරන එක විතරක් ප්‍රමාණවත්ද?" වැනි වර්තමාන දේශපාලන ක්‍රමය සහ බලය වෙනුවෙන් මිනිස්සු කරන කැපකිරීම් ගැන කියවෙන අපූරු දෙබස් රැසක්ම මේකේ අඩංගුයි. අද කාලේ සමාජයට වගේම දේශපාලනයට කදිම උපහාසාත්මක පණිවිඩයක් දෙන, වෙනස්ම වයිබ් එකක කොමඩි ඩ්‍රාමා එකක් බලන්න ආස අයට මේක හොඳ තේරීමක් වෙයි.