සුඛෝපභෝගී මහල් නිවාසයක වැඩට යන තරුණියකට, එහි සිටින අද්භූත යක්ෂ කල්ලියකට (Cult) එරෙහිව තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවන අපූරු කතාවක් රැගත් "They Will Kill You" චිත්‍රපටය 2026 වසරේ මාර්තු මාසයේදී තිරගත වුණා. හොරර්, ඇක්ෂන් සහ කොමඩි කියන ශානරයන් තුනම එකට එකතු කරලා හදපු මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිරිල් සොකොලොව් (Kirill Sokolov) විසිනුයි. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන "ඒෂියා රීව්ස්" (Zazie Beetz) නිව්යෝර්ක් නගරයේ තියෙන සුඛෝපභෝගී ඇපාර්ට්මන්ට් එකක සේවිකාවක් විදිහට වැඩට යනවා. හැබැයි ඇය දන්නේ නැහැ මේ ගොඩනැඟිල්ල ඇතුළේ ඉන්නේ තමන්ගේ අමරණීයත්වය වෙනුවෙන් මිනිස්සුන්ව බිලිදෙන භයානක කල්ලියක් කියලා. තමන්ව මීළඟ බිල්ල බවට පත්කරගන්න හදන මේ පිරිසගෙන් බේරිලා පලායන්න ඒෂියාට මාරාන්තික සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය හොරර් චිත්‍රපටවල වගේ එකපාරටම බය කරන දර්ශන වෙනුවට, මේකේ තියෙන්නේ ලේ වැගිරීම් පිරුණු දරුණු වගේම ආකර්ෂණීය සටන් ජවනිකායි. ඒෂියා තමන්ගේ ආරක්ෂාවට එක එක ජාතියේ ආයුධ පාවිච්චි කරන විදිහ සිනමාපටයට ලොකු ගැම්මක් එකතු කරනවා. ඒ වගේම ධනවත් මිනිස්සුන්ගේ බලය සහ දුප්පත් අයව පාලනය කරන විදිහ ගැනත් මෙහි සියුම් සමාජ විවේචනයක් අඩංගුයි. කතාව පුරාවටම තියෙන අඳුරු හාස්‍යය (Dark Humor) සහ සජීවී දෙබස් නිසා මුල ඉඳන් අන්තිම වෙනකම්ම වේගයෙන් කතාව ගලාගෙන යනවා. මෙහි ප්‍රධාන චරිතයට ජනප්‍රිය නිළි සෑසි බීට්ස් රංගනයෙන් දායක වන අතර හැරී පොටර් චිත්‍රපට මාලාවේ "ඩ්‍රැකෝ මෝල්ෆෝයි" ලෙස අපිට හුරුපුරුදු ටොම් ෆෙල්ටන් (Tom Felton) මෙහි කල්ලියේ සාමාජිකයෙක් වන කෙවින්ගේ චරිතය රඟදක්වනවා. මයිහාලා, හෙදර් ග්‍රැහැම් සහ පැට්‍රීෂියා ආකෙට් ඇතුළු දක්ෂ නළු නිළියන් පිරිසක් මෙහි සෙසු චරිත සරසනවා. වේගවත් ක්‍රියාදාම, ලේ වැගිරීම් සහ අඳුරු හාස්‍යය පිරුණු වෙනස්ම විදියේ හොරර් කතාවක් බලන්න කැමති අයට එකදිගටම නැරඹිය හැකි සුපිරි නිර්මාණයක්.