අද අරන් ආවේ ප්‍රංශ සිනමාවෙන් ආපු, පවුලේ හැමෝටම එකට ඉඳගෙන කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් මරු ඇක්ෂන් (Action) චිත්‍රපටයක්. විනාඩි 95ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එකට IMDb එකේ 6.5ක සාධාරණ හොඳ රේටින් එකකුත් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, ගේබ්‍රියෙල් සහ ඩ්‍රිස් කියන්නේ එකම අනාථ නිවාසයක එකට හැදී වැඩුනු යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තමන් හැදුණු වැඩුණු අනාථ නිවාසයෙන් පිටවෙලා ගිහින්, ආපහු ඒකට එන්නේ අවුරුදු 15කට විතර පස්සෙයි. ඒකට හේතුව වෙන්නේ ඔවුන්ව කුඩා කාලයේ බලාගත්තු, ඒ නිවාසයේ හිටපු සෝනියා කියන කාන්තාවගේ හදිසි මරණයයි. සෝනියා මියයන්නේ ඉතාමත් අභිරහස් වාහන අනතුරකින්. හැබැයි මේ අනතුරට සෘජුවම වගකියන්න ඕනේ ඒ පළාතේ ඉන්න සල්ලිකාර, බලපුළුවන්කාර ගැහැණු කෙනෙක්ගේ පුතෙක්. සල්ලිවලටයි, බලයටයි යටවුණු පොලිසිය මේ මරණය ගැන හරියට පරීක්ෂණයක් කරන්නේවත්, සෝනියාට සාධාරණයක් ඉටු කරන්නේවත් නැහැ. මේ නිසා සෝනියාගේ දුව වෙන "ලයිලා" දැඩි කේන්තියකින් සහ වෛරයකින් පසුවෙනවා. තමන්ගේ අම්මාගේ මරණයට සාධාරණයක් පතාගෙන යන ගමනේදී ලයිලා කරන යම්කිසි වැඩක් නිසා, ඇය ඒ පළාතේ ඉන්න දරුණු මැර කණ්ඩායමක් එක්ක ලොකු පටලැවිල්ලක් ඇති කරගන්නවා. මේ මැරයෝ ලයිලාගේ ජීවිතයට පවා තර්ජනයක් වෙන මට්ටමට එද්දී තමයි අනාථ නිවාසයට ආපු ගේබ්‍රියෙල් සහ ඩ්‍රිස් මේකට මැදිහත් වෙන්නේ. තමන්ව කුඩා කාලයේ ආදරයෙන් බලාගත්තු සෝනියාගේ දුවව බේරගන්න වගේම, මේ දරුණු මැර කල්ලිය එක්ක හැප්පිලා ඇයට සාධාරණයක් ඉටුකරලා දෙන්න මේ දෙන්නට පුළුවන් වෙයිද? වේගවත් සටන් ජවනිකා රැසක් එක්ක ගලාගෙන යන මේ ප්‍රංශ ඇක්ෂන් කතාව කොහොම කෙළවර වෙයිද කියලා ඔයාලම නරඹලා දැනගන්න.