ඔන්න අද අරගෙන ආවේ පවුලේ හැමෝටම එකට ඉඳගෙන හිනාවෙවී, කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කොරියානු ෆිල්ම් එකක්. ඒ තමයි 2025 අවුරුද්දේ ආපු The Noisy Mansion එහෙමත් නැත්නම් Baeksooapat. බැලූ බැල්මට මේක අද්භූත හොල්මන් කතාවක් වගේ පෙනුණට, මේක ඇතුළේ තියෙන්නේ වෙනස්ම සමාජ ප්‍රශ්නයක් සහ අභිරහසක්. Comedy සහ Mystery ශානරයන්ට අයිති වෙන මේ පැය එකහමාරේ ෆිල්ම් එක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන්. කතාව ගැන කිව්වොත්, ජියෝ-උල් (Geo-ul) කියන ක්‍රියාශීලී තරුණිය තමන්ගේ සහෝදරයා එක්ක ඇතිවෙන පොඩි රණ්ඩුවකින් පස්සේ 'බෙක්සූ' (Baeksoo) කියන අලුත් මහල් නිවාසයකට පදිංචියට එනවා. හැබැයි මේ බිල්ඩිමේ පුදුම ලෙඩක් තියෙනවා. හැමදාම පාන්දර 4.00 වෙද්දි මුළු ගොඩනැගිල්ලම දෙවනත් වෙන විදිහේ අද්භූත සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ හොල්මන් සද්දෙට බයවෙලා මිනිස්සු එකින් එකා ගෙවල් අතහැරලා යනවා. හැබැයි අසාධාරණය පේන්න බැරි ජියෝ-උල් මේකට බයවෙන්නේ නැහැ. එයා තමන්ගේ අමුතු අසල්වැසියන් සෙට් එකත් එක්ක (ගිණුම්කරුවෙක්, ASMR යූටියුබ් කරන කෙනෙක් වගේ අය) එකතු වෙලා මේ සද්දෙ පිටිපස්සේ තියෙන ඇත්ත හොයන්න රහසිගත මෙහෙයුමක් පටන් ගන්නවා. හොයගෙන යද්දී තමයි තේරෙන්නේ, පාන්දර 4ට ඇහෙන මේ සද්දෙ හොල්මනක් නෙවෙයි, ඊට වඩා ලොකු ජාවාරමක් කියලා. ගෙවල්වල නඩත්තු ගාස්තු ඉහළ දාලා, මිනිස්සුන්ව පන්නලා මේ බිල්ඩිම කඩලා දාන්න හදන දූෂිත ඉදිකිරීම් සමාගමක ලොකු කුමන්ත්‍රණයක් තමයි මේක අස්සේ හැංගිලා තියෙන්නේ. ප්‍රධාන නිළිය විදිහට Gyeong Su-jin සුපිරි රංගනයක් දෙනවා වගේම, අපි කවුරුත් දන්න 'Squid Game' සීරීස් එකේ හිටපු Kim Joo-ryoung ගේ රංගනය නිසා කතාවේ විහිළු පැත්ත උපරිමයටම නැගලා යනවා. වැඩිහිටියන්ට සීමා වුණු දර්ශන මුකුත් නැති නිසා, විවේක පාඩුවේ වෙනස්ම විදියේ කොරියානු අභිරහසක් හිනාවෙවී රසවිඳින්න ඕන අයට මේක සුපිරිම තේරීමක්.