ආගමික අන්තවාදය සහ "මොළය සේදීම" (Brainwashing) නිසා අහිංසක තරුණියන් පිරිසකගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ වී යන ආකාරය ගැන කියවෙන, ඉන්දියාව ඇතුළේ වගේම ජාත්‍යන්තරවත් ලොකු ආන්දෝලනයක් ඇති කරපු චිත්‍රපටයක් තමයි "The Kerala Story" කියන්නේ. සුදීප්තෝ සෙන් (Sudipto Sen) ගේ අධ්‍යක්ෂණයෙන් 2023 වර්ෂයේදී තිරගත වුණු, විනාඩි 138ක් පුරා දිවෙන මේ ක්‍රයිම් ඩ්‍රාමා (Crime, Drama) චිත්‍රපටයට IMDb දර්ශකයේ ලැබිලා තියෙන්නේ 4.4ක වැනි තරමක අඩු අගයක්. කතාව පටන් ගන්නේ හෙද සේවිකාවක් (Nursing) වෙන්න ලොකු හීන තියාගෙන කේරළයේ කාසර්ගෝඩ් ප්‍රදේශයේ හොස්ටල් එකකට එන ශාලිනි උන්නික්‍රිෂ්ණන් (Adah Sharma) කියන අහිංසක ගැහැණු ළමයාගෙන්. මේ හොස්ටල් එකේදී ඇයට නිමා, ගීතාංජලී සහ ආසිෆා (Sonia Balani) කියලා තවත් යෙහෙළියන් තුන්දෙනෙක් මුණගැහෙනවා. මුළු කතාවම වෙනස් කරන්නේ මේ අතරින් ආසිෆා කියන දැරියයි. ඇය ඉතාමත් සූක්ෂම විදිහට, සැලසුම් සහගතව අනෙක් ගැහැණු ළමයි තුන්දෙනා අදහන ආගම් සහ දෙවිවරුන් පහත් කරලා පෙන්වමින්, ඔවුන්ගේ මොළය සේදීමේ මෙහෙයුමක් පටන් ගන්නවා. ඉන්පසුව ඇය තමන්ගේ කල්ලියේ ඉන්න රමීස්, අබ්දුල් වගේ තරුණයන්ව පාවිච්චි කරලා මේ කෙල්ලන්ව බොරු ආදර දැල්වල පටලවන්න කටයුතු කරනවා. ආදරය, බලහත්කාරයෙන් ගැබ්ගැන්වීම් සහ විවිධ තර්ජන හමුවේ අසරණ වෙන ශාලිනි ඇතුළු මේ ගැහැණු ළමයින්ට අවසානයේදී තමන්ගේ ආගම, අනන්‍යතාවය වගේම නම් පවා වෙනස් කරගන්න සිද්ධ වෙනවා. එතැනින් නොනැවතී, මොවුන්ව ඉන්දියාවෙන් පිටමං කරලා සිරියාව සහ ඇෆ්ගනිස්ථානය වගේ රටවල ක්‍රියාත්මක වෙන භයානක ත්‍රස්තවාදී කල්ලි (ISIS) වෙතට රැගෙන යනවා. හෙදකම ඉගෙනගන්න ආපු අහිංසක කෙල්ලෙක් අවසානයේදී ඇෆ්ගනිස්ථානයේ හිරගෙදරක ත්‍රස්තවාදිනියක් විදිහට නතර වෙන්න වුණු මේ බිහිසුණු ඛේදවාචකය කොහොමද සිද්ධ වුණේ කියලා චිත්‍රපටය පුරාම ඇඟ කිලිපොලා යන විදිහට බලාගන්න පුළුවන්.