ලක්ෂ දෙකක අතිදැවැන්ත සතුරු හමුදාවකට එරෙහිව, හමුදා සොල්දාදුවන් පන්දහසක් එකතු වෙලා තමන්ගේ බලකොටුව බේරගන්න කරන මාරාන්තික සටනක් බලාගන්න පුළුවන් අපූරු දකුණු කොරියානු සිනමාපටයක් තමයි "The Great Battle" කියන්නේ. 2018 වසරේදී තිරගත වුණු මේ ඓතිහාසික යුද චිත්‍රපටය (Historical Epic War Movie) මුල සිට අගටම දරුණු සටන් ජවනිකා වලින් පිරිලා තියෙනවා. කතාවට පදනම් වෙලා තියෙන්නේ ක්‍රි.ව. 645 දී සිද්ධ වුණු සත්‍ය ඉතිහාසගත ආන්සි (Ansi) බලකොටුව වටලෑමේ සිදුවීමයි. චීනයේ ටෑං අධිරාජ්‍යයේ බලවත් හමුදාව කොරියාව ආක්‍රමණය කරන්න එනකොට, එයාලව නවත්වන්න ඉතිරි වෙන්නේ ආන්සි බලකොටුව විතරයි. ලක්ෂ දෙකක (200,000) මහා දැවැන්ත සතුරු හමුදාවකට මුහුණ දෙන්න බලකොටුව ඇතුළේ ඉන්නේ ජෙනරාල් යැං මන්-චුන් (Jo In-sung) ඇතුළු සොල්දාදුවන් 5,000ක් වගේ සුළු පිරිසක් විතරයි. මේ සුළු පිරිස තමන්ගේ දේශය වෙනුවෙන් ජීවිත පරදුවට තියලා, දවස් 88ක් තිස්සේ සතුරු ආක්‍රමණයට නොසැලී මුහුණ දෙන ආකාරය මෙහිදී ඉතාමත් දක්ෂ විදිහට රූපයට නඟලා තියෙනවා. විශේෂයෙන්ම සතුරා මවිත කරවන විදියේ අපූරු යුධ උපක්‍රම, බලකොටුව ආරක්ෂා කරගන්න කරන උපායවල් සහ දෙපිරිස අතර සිද්ධ වෙන දරුණු ගැටුම් මේ චිත්‍රපටය පුරාවටම බලාගන්න පුළුවන්. පැය දෙකකට වඩා දිවෙන මේ නිර්මාණය පුරාවටම තියෙන වේගවත් බව නිසා බලන අයට කිසිම තැනකදී කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. යුද උපක්‍රම සහ ඓතිහාසික සටන් පිරුණු කතා නරඹන්න කැමති අයට කිසිම පාලුවක් නැතුව ගැම්මෙන් බලන්න පුළුවන් විශිෂ්ට සිනමා නිර්මාණයක්.