අපි හැමෝම පොඩි කාලේ අහලා තියෙන ස්නෝ වයිට් සහ කුරුමිට්ටන් හත්දෙනාගේ සුරංගනා කතාව සම්පූර්ණයෙන්ම කඩු කින්දම්, ලේ වැගිරීම් පිරුණු හොරර් ඇක්ෂන් (Fantasy, Horror, Action) කතාවක් විදිහට වෙනස් කළොත් මොන වගේ වෙයිද? අන්න ඒ වගේ පිස්සු හැදෙන වෙනස්ම කෝණයකින් හදපු හොලිවුඩ් චිත්‍රපටයක් තමයි "The Death of Snow White" කියන්නේ. පසුගිය 2025 මැයි මාසයේදී තිරගත වුණු, විනාඩි 110ක් දිවෙන මේ චිත්‍රපටයට IMDb එකේ ලැබිලා තියෙන්නේ 5.3ක මධ්‍යස්ථ රේටින් එකක්. කතාව පැත්තට හැරුණොත්, සදාකාලික තාරුණ්‍යය සහ ලස්සන පතාගෙන තමන්ගේ කුඩම්මා (නපුරු රැජින) විසින් එල්ල කරන මාරාන්තික තර්ජනවලින් බේරෙන්න ස්නෝ වයිට් පැනලා යනවා. ඇය රැකවරණය පතාගෙන යන්නේ කාටවත් ලෙහෙසියෙන් යන්න බැරි බියකරු "අඳුරු වනාන්තරයටයි" (Dark Forest). හැබැයි එහේදී ඇයට හමුවෙන කුරුමිට්ටන් හත්දෙනා අපි අර කතාවල අහපු සින්දු කිය කියා පතල් හාරන අහිංසක අය නෙවෙයි. ඔවුන් ඒ වනාන්තරය ඇතුළේ රහසිගතව ජීවත් වෙන, අතිශය කුරිරු වගේම ලේ පිපාසිත කුලී ඝාතකයන් (Cold-blooded assassins) පිරිසක්! තමන්ගේ පස්සෙන් පන්නන නපුරු රැජිනගේ හමුදාවෙන් බේරිලා ජීවිතය රැකගන්න නම්, ස්නෝ වයිට්ට සිද්ධ වෙනවා මේ දරුණු ඝාතකයන් හත්දෙනා එක්ක එකතු වෙලා සටන් කරන්න. අහිංසක කුමාරිකාවක් විදිහට හිටපු ස්නෝ වයිට්, මේ ඝාතකයන්ගේ ආශ්‍රයත් එක්ක තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින දරුණු කෙල්ලෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. සාම්ප්‍රදායික සුරංගනා කතා ශෛලියෙන් මිදිලා, ඩාර්ක් ෆැන්ටසි සහ හොරර් වයිබ් එකක් අත්විඳින්න ආස අයට මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.