අවුරුදු දහයකට පස්සේ තමන්ගේ ගමට එන තරුණයෙක්, තමන්ගේ පරණ ආදරය දිනාගන්න හදනකොට මුළු ගමක්ම බියෙන් වෙව්ලවන අතීත ශාපයකට සහ අද්භූත බලකොටුවකට මැදිවෙන හැටි තමයි "Raakaasa" චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. පසුගිය අප්‍රේල් 3 වෙනිදා තිරගත වුණු, විනාඩි 130ක් පුරා දිවෙන මේ අලුත්ම තෙළිඟු චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ව බියෙන් වගේම හිනාවෙන් කුල්මත් කරන හොරර් කොමඩි (Horror, Comedy, Fantasy) ගණයට අයත් එකක්. IMDb දර්ශකයේ මේකට 7.3ක ඉතාමත් හොඳ ප්‍රේක්ෂක අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මේ හැමදේම සිද්ධ වෙන්නේ ගමේ තියෙන පාලු අද්භූත බලකොටුවක් සහ ඒ හා බැඳුණු අවුරුදු 2000ක් පරණ ශාපයක් මුල් කරගෙනයි. මේ බලකොටුවේ ඉන්නවා කියන භයානක යක්ෂයාව සතුටු කරන්න කලින් කලට මිනිස් බිලි පූජා දෙන්න ගම්වැසියන්ට සිද්ධ වෙලා තියෙනවා. ඔය අතරේ තමයි ඇමරිකාවේ ඉඳන් වීරු (Veeru) තමන්ගේ පරණ පෙම්වතිය වුණු සුකන්‍යා (Sukanya) ව හොයාගෙන නැවත ගමට එන්නේ. හැබැයි ඔහු එනකොට සුකන්‍යාව වෙනත් කෙනෙකුට කසාද බන්දලා දෙන්නයි පවුලේ අය ලෑස්ති කරලා තියෙන්නේ. මේ ආදර ප්‍රශ්න අස්සේ, "සෝමු" නැමැති ගමේ පුද්ගලයෙක් එකපාරටම අතුරුදන් වීම නිසා මුළු ගමම කැළඹෙනවා. ගමේ නීති රීති කඩ කරපු නිසාත්, සෝමුගේ අතුරුදන් වීමට සැකපිටත් ගමේ සභාව විසින් තීරණය කරනවා මීළඟට යක්ෂයාට බිලි දිය යුත්තේ වීරු ව කියලා. තමන්ගේ අකමැත්තෙන්ම මේ බියකරු බලකොටුව ඇතුළට යන්න සිද්ධ වෙන වීරුට එතැනදී හිතාගන්නවත් බැරි අමුතුම විදියේ දේවල් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒ බලකොටුව ඇතුළේ ඉන්නේ ලේ පිපාසිත යක්ෂයෙක්ද, නැත්නම් ඒක පිටුපස වෙනත් රහසක් හැංගිලා තියෙනවද? අතුරුදන් වුණු සෝමුට මොකද වුණේ? වීරුට තමන්ගේ ජීවිතයත් රැකගෙන, තමන්ගේ ආදරයත් දිනාගෙන මේ ශාපයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියන එක හාස්‍යය වගේම කුතුහලයත් එක්ක චිත්‍රපටය පුරාම බලාගන්න පුළුවන්.