ගෙදර අයගෙන් බේරෙන්න පොලිසියට දිවූ අපූරු බල්ලෙක් නිසා මුළු ගමකම සිද්ධ වෙන ලොකු කලබගෑනියක් වටා ගෙතුණු හාස්‍යජනක කතාවක් තමයි "Pennum Porattum" චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙන්නේ. මලයාලම් සිනමාවෙන් 2026 වසරේ මුල් භාගයේදී අරන් ආපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාජේෂ් මාධවන් (Rajesh Madhavan) විසිනුයි. කතාවේ පසුබිම බැලුවොත්, මීට සෑහෙන කාලයකට කලින් මේ ගමේ මිනිස්සු අතරේ ලොකු රණ්ඩුවක් වෙනවා. ඒ වෙලාවේ ගෝපලන් කියන කෙනා මැදිහත් වෙලා ආයෙත් කවදාවත් ගමේ අය රණ්ඩු වෙන්නේ නැහැ කියලයි, ආයුධ අතට ගන්නේ නැහැ කියලයි හැමෝගෙන්ම පොරොන්දුවක් ගන්නවා. වර්තමානයේදී මේ ගමේ මිනිස්සුන්ගේ එක එක ප්‍රශ්න සහ රණ්ඩු බේරලා සමතයකට පත් කරන්නේ "මාස්ටර්" කියලා කියන මැදිවියේ ඉන්න අවිවාහක පුද්ගලයෙක්. ඔය අතරේ ගමේ ඉන්න බාබුරාජ් කියන තරුණයාගේ ගෙදර "සුත්තු" කියලා බල්ලෙක්ව හදනවා. හැබැයි මේ ගෙදර අය ඌට සලකන්නේ හොඳින් නෙවෙයි. චාරු කියන කෙල්ල විතරක් සුත්තුට ගොඩක් ආදරේ කරනවා. දවසක් බාබුරාජ්ගේ අම්මා සුත්තුට කෑම දෙන ගමන් ඌට ගහන්න හදද්දී, බල්ලා එකපාරටම අම්මගේ අත හපා කනවා. බය වුණු සුත්තු ගෙදරින් පැනලා කෙලින්ම යන්නේ පොලිසියටයි. හැබැයි පොලිසියේ ඉන්න අයයි ගමේ අයයි හැමෝම හිතන්නේ මේ බල්ලාට ජලභීතිකාව හැදිලා කියලා. මේ බොරු කතාව ලැව්ගින්නක් වගේ මුළු ගම පුරාම පැතිරෙනවා. ඊටපස්සේ අර මාස්ටර් ගමේ ඉන්න තරුණ කොල්ලෝ ටිකක් එකතු කරගෙන සුත්තුව මරන්න හොයන්න පටන් ගන්නවා. තමන්ට කිසිම ලෙඩක් නැති වුණත් මුළු ගමක්ම තමන්ව මරන්න පන්නන කොට, සුත්තුට ඕන කරන්නේ කොහොම හරි මේ ගමෙන් පැනලා බේරෙන්නයි. මේ බල්ලා තමන්ගේ ජීවිතය බේරගන්න දරන උත්සාහයත්, ඒ අස්සේ ගමේ මිනිස්සු සිද්ධ කරගන්න පිස්සු වැඩත් චිත්‍රපටය පුරාවටම ලස්සනට පෙන්වනවා. සතුන් වටා ගෙතුණු සරල වගේම දේශීය ගතිගුණ පිරුණු මලයාලම් කොමඩි කතා නැරඹීමට කැමති රසිකයන්ට, එකදිගටම හිනාවෙවී රසවිඳින්න පුළුවන් අපූරු නිර්මාණයක්.