"Marmaduke" (2022) කියන්නේ ගෙදර ඉන්න පොඩි ළමයින්ට කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් කාටූන් ෆිල්ම් එකක්. සත්තුන්ට ආස කරන අයට මේක තවත් විශේෂයි. මේ කතාවේ ඉන්නේ Marmaduke කියලා මාරම ලොකු බල්ලෙක්. ඇඟෙන් ලොකු වුණාට මෙයා හිතින් හරිම පොඩි එකෙක් වගේ. ඒ වගේම මාරම දඟයි. එයාගේ පවුලේ අය එයාට ගොඩක් ආදරේ කලත්, මෙයා කරන දඟවැඩ නිසා ඒ හැමෝටම නිතරම එක එක කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දවසක් මෙයා පවුලේ සාදයක් අස්සේ කරපු පිස්සු වැඩක වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකට ගිහින් හැමතැනම වයිරල් වෙනවා. මේ වීඩියෝ එක දකින ලෝක ප්‍රසිද්ධ සුනඛ පුහුණුකරුවෙක් වෙන ගයි හිල්ටන්ට හිතුණා මේ බල්ලව ලෝක ශූරයෙක් කරන්න පුළුවන් කියලා. ඉතින් එයා Marmaduke ව පුහුණු කරන්න බාරගන්නවා. හැබැයි මේ බල්ලා මාරම කම්මැලි කෙනෙක්. ඉතින් මේ වගේ දඟකාර, කම්මැලි බල්ලෙකුට ඇත්තටම ලෝක ශූරයෙක් වෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාව පුරාම තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකේ ඇනිමේෂන් කොලිටි එක නම් ගොඩක්ම ඉහළ මට්ටමක නෑ. ඒ නිසාම විචාරකයන්ගෙන් මේකට ලැබිලා තියෙන්නේ සෑහෙන්න අඩු රේටින්ග්ස් ප්‍රමාණයක්. හැබැයි කුඩා ළමයින්ව සතුටු කරන්න හදපු එකක් නිසා, මේකේ තියෙන විහිළු වැඩ ටික පොඩි අයට නම් මාර විනෝදජනක වෙයි. මේ චිත්‍රපටයේ Marmaduke ගේ චරිතයට හොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවෙක් වෙන පීට් ඩේවිඩ්සන් (Pete Davidson) හඬකැවීමෙන් දායක වෙනවා. ඊට අමතරව ජේ. කේ. සිමන්ස් (J.K. Simmons) වැනි දක්ෂ නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා ඉන්නවා. ඉතින් රේටින්ග්ස් ගැන වැඩිය හිතන්නේ නැතුව, නිවාඩු වෙලාවක ගෙදර ඉන්න පොඩි අයත් එක්ක එකතු වෙලා සතුටින් බලන්න පුළුවන් සරල, ලස්සන ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.