ගමක සිදුවන දූෂිත දේශපාලනය, අසාධාරණකම් සහ අහිංසක මිනිසුන්ට විඳින්නට සිදුවන කෲර ඉරණමකට එරෙහිව නැඟී සිටින සාමාන්‍ය මිනිසෙකුගේ අරගලයක් වටා තමයි "Manithan Deivamagalam" චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ. පසුගිය අප්‍රේල් 10 වෙනිදා තිරගත වුණු, විනාඩි 125ක් පුරා දිවෙන මේ ඉන්දියානු ක්‍රයිම් ඩ්‍රාමා (Crime, Drama) චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙන අතර, IMDb දර්ශකයේ 8.4ක වැනි ඉහළම අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ රඝවන් (Raghavan) කියන සාමාන්‍ය, ගුණගරුක මනුස්සයායි. ඔහු තමන්ගේ බිරිඳ වෙන සෙල්වි (Selvi) සහ ගම්වැසියන් එක්ක බොහොම සාමකාමීව ජීවත් වුණත්, ඔවුන් ඉන්න ගමට අඩුම තරමේ හරියට පාරක් තොටක් වැනි මූලික පහසුකම් කිසිවක් නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න රඝවන්ගේ මාමණ්ඩි ප්‍රදේශයේ දේශපාලනඥයන්ට දිගින් දිගටම පෙත්සම් ගැහුවත්, බලධාරීන් සහ ගමේ ඉන්න පොලී මුදලාලිලා එකතු වෙලා මේ අහිංසක මිනිසුන්ව තදින්ම පීඩාවට පත්කරනවා. මේ අතරතුර ගමේ ඉන්න "අමුධා" කියන කුඩා දැරියක් පාරක් නැති කම නිසා රෝහලකට ගෙන යන්න බැරිව සර්පයෙක් කාලා මියගිය බව මුලින් ප්‍රචාරය වුණත්, පසුව හෙළිවෙන්නේ ගමේ ඉන්න බලවත්ම පොලී මුදලාලි වෙන "ඉන්බරාජ්" විසින් ඇයව දූෂණය කර ඝාතනය කර ඇති බවයි. මේ අමානුෂික අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තැන, රඝවන්ගේ බිරිඳ සෙල්වි සාධාරණය ඉල්ලලා ඉදිරියට එනවා. හැබැයි ඒ ධෛර්යවන්ත පියවර නිසා ඇයටත් පාතාලයෙන් සහ දූෂිත බලධාරීන්ගෙන් අත්වෙන්නේ ඉතාමත් කණගාටුදායක, බිහිසුණු ඉරණමක්. තමන්ගේ සන්තකයේ තිබුණු හැමදේම අහිමි වුණු රඝවන්, අවසානයේදී මේ දූෂිත ක්‍රමවේදයට සහ අපරාධකාරයන්ට එරෙහිව තනිවම නීතිය අතට ගෙන ක්‍රියාත්මක වෙන ආකාරය කතාවේ උච්චතම අවස්ථාවන් (Climax) හරහා බලාගන්න පුළුවන්. සමාජයේ තවමත් දකින්න ලැබෙන කටුක යථාර්ථයක් සහ පවුලක් වෙනුවෙන් කෙරෙන පළිගැනීමක් තේමා කරගත්තු, හිතට තදින්ම දැනෙන කතාවක් නැරඹීමට කැමති රසිකයන්ට මේ චිත්‍රපටය ඉතාමත් හොඳ නිර්මාණයක් වෙයි.