තමන්ගේම පවුලෙන් කොන් කරලා දාපු මනුස්සයෙක්, තමන්ට හිමි විය යුතු මහා ධනස්කන්ධය ලබාගන්න තමන්ගේම නෑදෑයන්ව එකින් එක මරාගෙන ගියොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ අමුතුම විදියේ කළු හාස්‍යය (Black Comedy) සහ ත්‍රිලර් රසය කලවම් වුණු කතාවක් තමයි "How to Make a Killing" කියන චිත්‍රපටයෙන් අරන් එන්නේ. 1949 අවුරුද්දේ ආපු සුප්‍රසිද්ධ "Kind Hearts and Coronets" කියන පැරණි නිර්මාණය ඇසුරෙන් තමයි 2026 වසරේදී මේ චිත්‍රපටය අලුතින් නිපදවා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වෙන "බෙකට් රෙඩ්ෆෙලෝ" උපන්දා ඉඳන්ම එයාගේ සල්ලිකාර පවුලෙන් අතහැරලා දාපු කෙනෙක්. තමන්ට අහිමි වුණු හැමදේම සහ පවුලේ උරුමය කොහොම හරි නැවත ලබාගන්න හිතන බෙකට්, ඒ වෙනුවෙන් තෝරාගන්නේ බොහොම දරුණු මාර්ගයක්. ඒ තමයි තමන්ගේ බලාපොරොත්තු වලට හරස් වෙන පවුලේ හැම සාමාජිකයෙක්වම එකින් එක මෙලොවින් තුරන් කරලා දාන එක. කතාව තවත් වෙනස්ම මුහුණුවරක් ගන්නේ, මේ හැම අපරාධයක්ම කරලා අවසානයේ මරණ දණ්ඩනයට නියම වෙන බෙකට්, පූජකවරයෙක් ඉස්සරහා තමන්ගේ මුළු ජීවිත කතාවම කියන තැනිනුයි. පළිගැනීම සහ පෙරේතකම නිසා මිනිහෙක් කරන මේ සෙල්ලම ලස්සනට ගලාගෙන යනවා. මෙහි ප්‍රධාන චරිතයට රඟපාන ග්ලෙන් පවෙල් (Glen Powell) ගේ රංගනය චිත්‍රපටයට ලොකු පණක් දෙනවා. කතාව ගලාගෙන යන්නේ ගොඩක් වේගයෙන් වගේම ටිකක් සාමාන්‍ය ජීවිතයට වඩා එහා ගිය සිදුවීම් එක්කයි. ඒ නිසා මේකේ ඇත්තටම සිදුවෙන්න පුළුවන් තාත්වික ගතියක් නැති වුණත්, කිසිම පාලුවක් නැතුව බලන්න පුළුවන්. හාස්‍යය වගේම ත්‍රාසජනක ගතියත් නියම විදියට මේකේ බැලන්ස් කරලා තියෙනවා. ඊළඟට වෙන්නේ මොකක්ද කියලා ලෙහෙසියෙන්ම හිතාගන්න පුළුවන් වුණත්, සිනමාපටය පුරාවටම තියෙන වේගවත් බව නිසා ප්‍රේක්ෂකයන්ට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ලොකු ගැඹුරු කරුණු හිතන්න යන්නේ නැතුව, නිදහසේ ඉඳගෙන ආසාවෙන් බලන්න කැමති අයට මේක කියාපු නිර්මාණයක්.