කන්නඩ සිනමා ක්ෂේත්‍රයේ හැමෝගෙම ආදරය දිනාගත්තු “Talking Star” ශ්‍රුජන් ලෝකේෂ්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය විදිහට තමයි මේ "GST" සිනමාපටය තිරගත වෙන්නේ. GST කිව්ව ගමන් අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ බදු මුදල් ගැන වුණාට, මේ කතාවේ හැටියට ඒකෙන් අදහස් වෙන්නේ "Ghosts in Trouble" නැතහොත් කරදරේ වැටුණු හොල්මන් කියන එකයි. හාස්‍යය වගේම හොරර් වයිබ් එකක් එකතු කරලා හදපු මේ නිර්මාණය මුළු පවුලේ සැමටම එකට ඉඳන් රසවිඳින්න පුළුවන් කදිම චිත්‍රපටියක්. කතාව පැත්තට හැරුණොත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ ලකී. හැබැයි නම ලකී වුණාට මෙයා තමයි ලෝකේ ඉන්න අවාසනාවන්තම මනුස්සයා. උපන්දා ඉඳන් කරන හැම වැඩක්ම වරද්දගන්න, තමන්ගේ පවුලේ අයටත් කරදරයක් වුණු කෙනෙක් විදිහට තමයි ලකීව හැමෝම දකින්නේ. ඉතින් ජීවිතේ සම්පූර්ණයෙන්ම කලකිරිලා මෙයා සියදිවි නසාගන්න හදන මොහොතක තමයි අමුතුම හොල්මන් කල්ලියකට මැදිවෙන්නේ. හැබැයි මේ හොල්මන් මිනිස්සුන්ව බය කරන ජාතියේ අය නෙවෙයි. ඔවුන් තමන්ගේ අවසාන බලාපොරොත්තු ඉටු කරගෙන නිදහස් වෙන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉන්න පිරිසක්. තමන්ගේ ඒ ගැටලුව විසඳගන්න මේ හොල්මන් ටිකට ලකීගේ සහයෝගය අනිවාර්යයෙන්ම ඕන වෙනවා. තමන්ගේ ජීවිතේම අවුල් කරගත්තු මේ අවාසනාවන්ත මනුස්සයයි, කරදරේ වැටුණු හොල්මන් ටිකයි එකතු වෙලා කරන පිස්සු වැඩ මාලාව තමයි මිනිත්තු 131ක් පුරා දිවෙන මේ කතාවෙන් බලාගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ කට්ටිය එකතු වෙලා සැලසුම් කරන බැංකු කොල්ලයේ දර්ශන ටික නම් ප්‍රේක්ෂකයන්ට බඩ පැලෙන හාස්‍යයක් අරන් එනවා නිසැකයි. ශ්‍රුජන් ලෝකේෂ් සමඟ රජනි භාරද්වාජ් මෙහි ප්‍රධාන චරිත මතු කරන අතර, ගිරිජා ලෝකේෂ් සහ තබ්ලා නානි වැනි දක්ෂ ප්‍රහසන නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. චන්දන් ෂෙට්ටිගේ (Chandan Shetty) ජව සම්පන්න පසුබිම් සංගීතය නිසා චිත්‍රපටයේ තියෙන කොමඩි ගතිය තවත් ඉහළ ගොස් තිබෙනවා. හොල්මන් කතා කිව්වට කිසිම බය හිතෙන දර්ශනයක් නැති නිසා පොඩි ළමයින්ට වුණත් බය නැතුව බලන්න පුළුවන් මේ අපූරු සිනමාපටය නරඹන්න කියා හැමෝටම ආරාධනා කරනවා.