සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක් ඇතුළේ තියෙන ඇඳුම් කඩයක වැඩ කරන ලස්සන කෙල්ලෝ ටිකක්, ඇත්තටම රහස්‍ය වත්පිළිවෙත් කරන මායාකාරියන් පිරිසක් වුණොත්? මෙරිඩිත් ඇලෝවේ (Meredith Alloway) අධ්‍යක්ෂණය කළ “Forbidden Fruits” චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ අන්න ඒ වගේ අමුතුම අඳුරු කතාවක්. යොවුන් වියේ පසුවන තරුණියන් අතර ඇතිවන Toxic මිත්‍රත්වයන් සහ අභ්‍යන්තර ගැටුම්, Horror සහ Dark Comedy ශානරයන් ඔස්සේ ඉතාමත් සජීවීව මේ නිර්මාණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. කතාවට පසුබිම් වෙන්නේ ඇමරිකාවේ ඩලස් නුවර පිහිටි “Free Eden” නම් ඉහළ පෙළේ ඇඳුම් අලෙවිසැලක්. එහි සේවය කරන ඇපල්, ෆිග් සහ චෙරි කියන යෙහෙළියන් තිදෙනා බැලූ බැල්මට සාමාන්‍ය සේවිකාවන් වගේ පෙනුණත්, ඔවුන් තමන්ගේම නීතිරීති මාලාවකට අනුව ජීවත්වන මායාකාරියන් කණ්ඩායමක්. ලිලී රයින්හාර්ට් (Lili Reinhart), ලෝලා ටුන්ග් (Lola Tung), වික්ටෝරියා පෙඩ්‍රෙට්ටි (Victoria Pedretti) සහ ඇලෙක්සැන්ඩ්‍රා ශිප් (Alexandra Shipp) යන සුපිරි නිළියන් පිරිසක් මේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නේ “පම්ප්කින්” නැමැති අලුත් තරුණියක් මේ අලෙවිසැලේ වැඩට එකතු වීමත් එක්කයි. ඇය මේ කල්ලියේ ඉන්න කෙල්ලන්ගේ අසාමාන්‍ය හැසිරීම් වගේම ඔවුන් සඟවාගෙන සිටින අඳුරු, බියකරු රහස් එකින් එක අනාවරණය කරගන්න උත්සාහ කරනවා. එතැන් සිට ඔවුන් අතර ඇතිවන නොසන්සුන්කාරී වාතාවරණය සහ කුතුහලය නිසා ප්‍රේක්ෂකයාට තත්පරයකටවත් ඇස ඉවතට ගන්න ලැබෙන්නේ නැහැ. හැඟීම්බර ආදර කතා හෝ සරල Slice of Life සිනමාපටවලින් මිදී, හාස්‍යයත් ත්‍රාසයත් එකට මුසුවුණු වෙනස්ම ආරක සිනමා අත්දැකීමක් විඳගන්න කැමති අයට “Forbidden Fruits” කදිම තේරීමක්. විශේෂයෙන්ම මෙහි අඩංගු වෙන තියුණු, උපහාසාත්මක දෙබස් මඟින් නූතන සමාජයේ තරුණ කණ්ඩායම් අතර තියෙන මානසික ගැටලු අපූරුවට විවේචනය කිරීමට අධ්‍යක්ෂකවරිය සමත් වී තිබෙනවා.