නෙට්ෆ්ලික්ස් හරහා අතිශය ජනප්‍රිය වුණු "Enola Holmes" චිත්‍රපටයේ වගේම, තියුණු බුද්ධියක් තියෙන පුංචි රහස් පරීක්ෂක වරියකගේ අපූරු වික්‍රමාන්විතයක් බලාගන්න පුළුවන් බ්‍රිතාන්‍ය සිනමා නිර්මාණයක් තමයි "Flavia" කියන්නේ. භාරත් නල්ලූරි (Bharat Nalluri) ගේ අධ්‍යක්ෂණයෙන්, බ්‍රිතාන්‍යයේ Sky Cinema හරහා පසුගිය අප්‍රේල් මාසයේදී විකාශය වුණු, විනාඩි 92ක් පුරා දිවෙන මේ ඇඩ්වෙන්චර් මිස්ට්‍රි (Adventure, Family, Mystery, Comedy) චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.8ක ඉතාමත් හොඳ ප්‍රේක්ෂක අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, ෆ්ලාවියා (Molly Belle Wright) කියන්නේ වයස අවුරුදු 11ක, හැබැයි තමන්ගේ වයසට වඩා සෑහෙන්න ඉහළ බුද්ධි මට්ටමක් වගේම පුදුමාකාර නිරීක්ෂණ හැකියාවක් තියෙන දක්ෂ දැරියක්. ඇය රසායන විද්‍යාව (Chemistry) විෂයටත් මාරම දක්ෂයි. දවසක් රාත්‍රියක ඇගේ පියා (Martin Freeman) කාර්යාල කාමරයේදී නන්නාදුනන පුද්ගලයෙක් එක්ක ලොකු බහින්බස්වීමක් වෙනවා ඇයට ඇහෙනවා. හැබැයි එදා රෑ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ තමන්ගේ වත්ත පහළ ඇවිදින්න යන ෆ්ලාවියාට දකින්න ලැබෙන්නේ අර පියා එක්ක රණ්ඩු වුණු ආගන්තුකයාගේ මළ සිරුරයි! මේ මිනීමැරුම ගැන පොලීසිය දැනුවත් කළත්, සිදුවන්නේ ඇය කිසිසේත්ම නොහිතපු දෙයක්. හැම සාක්ෂියක්ම ඇගේ පියාට එරෙහිව තියෙන නිසා සහ පියා විසින් කරන ලදැයි කියන අමුතු පාපොච්චාරණයක් නිසා, පොලීසිය විසින් ඔහුව මිනීමැරුමේ ප්‍රධාන සැකකරු විදිහට අත්අඩංගුවට ගන්නවා. නීතියට අනුව ඔහුව එල්ලා මරා දැමීමට පවා නියම වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් තමන්ගේ පියා කිසිම වෙලාවක මිනීමරුවෙක් වෙන්න බැරි බව තරයේ විශ්වාස කරන මේ පුංචි දියණිය, පියාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තනියම රහස් පරීක්ෂණයක් ආරම්භ කරනවා. තමන් සතු රසායන විද්‍යා දැනුම, තර්කානුකූල උපකල්පන සහ සියුම් හෝඩුවාවන් ඔස්සේ ඇය මේ අභිරහස් නූල් බෝලය හෙමින් හෙමින් ලිහන්න පටන් ගන්නේ ඉතාමත් දක්ෂ විදිහටයි. මෙහි ඇති විශේෂත්වය තමයි, ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන චරිතය වන ෆ්ලාවියා කතාවේ යථාර්ථයෙන් මිදිලා, ප්‍රේක්ෂකයා දෙස කෙලින්ම බලා (Breaking the fourth wall) සිදුවීම් සහ ඇගේ සැලසුම් පැහැදිලි කර දෙන අපූරු සිනමා උපක්‍රමයක් මෙහි භාවිත කර තිබීමයි. ප්‍රවීණ නළුවන් වන ජොනතන් ප්‍රයිස් (Jonathan Pryce) සහ මාටින් ෆ්‍රීමන්ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු, පියා සහ දියණිය අතර ඇති ආදරය වගේම කුතුහලයත් හාස්‍යයත් එකට මුසු වුණු ලස්සන අභිරහස් කතාවක් නරඹන්න කැමති පවුලේ සැමටම මේක කියාපු චිත්‍රපටයක්.