"Stranger Things" කතා මාලාව හරහා ලෝකයේම ආදරය දිනාගත්තු ජෝ කීරි (Joe Keery) සහ හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළු ලියම් නීසන් (Liam Neeson) ප්‍රධාන චරිතවලට පණ පොවන අලුත්ම හොලිවුඩ් සිනමාපටයක් තමයි "Cold Storage" කියන්නේ. පසුගිය ජනවාරි 22 වෙනිදා තිරගත වුණු, විනාඩි 99ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.8ක හොඳ ප්‍රේක්ෂක අගයක් ලැබිලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ ලියම් නීසන් තමන්ගේ සුපුරුදු ගුටි කෙටීම් සහ පළිගැනීම් පිරි ඇක්ෂන් ශෛලියෙන් මිදිලා, Horror, Sci-Fi සහ Comedy මුසු වුණු වෙනස්ම ආකෘතියක චරිතයක් රංගනයෙන් හැඩගැන්වීමයි. එමෙන්ම Jurassic Park, Spider-Man සහ Mission: Impossible වැනි දැවැන්ත සිනමාපටවල තිර රචකයා වුණු ඩේවිඩ් කොයෙප් (David Koepp) විසින්ම තමයි මේ චිත්‍රපටයේ පිටපතත් ලියා තිබෙන්නේ. කතාව පැත්තට හැරුණොත්, මීට වසර ගණනාවකට කලින් අභ්‍යවකාශයේ ජීවය පවතිනවාද කියා සෙවීමට නාසා (NASA) ආයතනය විසින් යවන ලද එක්තරා දිලීරයක් (Fungus), එහේදී සිදුවන ජාන විකෘති වීමක් (Mutation) නිසා අතිශය භයානක මට්ටමකට පත් වෙනවා. මිනිස් වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් විය හැකි මේ මාරාන්තික දිලීරය නැවතත් පෘථිවියට කඩාපාත් වෙන්නේ බිහිසුණු විදිහටයි. මිනිස් ශරීරයක් මුණගැසුණු සැණින් එය විනිවිද යමින් සෛල කා දමන මේ දිලීරය පාලනය කරන්න හමුදාව ලොකු මෙහෙයුමක් දියත් කරනවා. අවසානයේදී මෙහි ව්‍යාප්තිය නතර කරලා, පර්යේෂණ කටයුතු සඳහා ඉන් ඉතිරි කරගන්නා කුඩා සාම්පලයක් (Sample) ආරක්ෂිත භූගත පරිශ්‍රයක සිරකර තබන්න ආරක්ෂක අංශ පියවර ගන්නවා. නමුත් වසර 27ක් තිස්සේ කිසිදු කරදරයක් නැතිව වසා දමා තිබූ මේ භූගත කුටීරයෙන්, ඉතාමත් සූක්ෂම ලෙස කැරපොත්තෙකු මාර්ගයෙන් මේ මාරාන්තික දිලීරය නැවතත් බාහිර පරිසරයට මුදාහැරෙනවා. එතැන් සිට මුළු පෘථිවියම ආක්‍රමණය කරන්න සැරසෙන මේ ජීව විද්‍යාත්මක තර්ජනයෙන් ලෝකය බේරාගන්න එතන ඉන්න සේවකයන් පිරිසක් දියත් කරන බියකරු මෙන්ම හාස්‍යජනක මෙහෙයුම තමයි සිනමාපටය පුරාම දකින්න ලැබෙන්නේ. StudioCanal සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි, තිගැස්ම සහ විද්‍යා ප්‍රබන්ධ රසය අතරමැදට කළු හාස්‍යයක් (Black comedy) මුසු කර තිබීම නිසා සිනමා රසිකයන්ට කම්මැලිකමකින් තොරව නරඹන්න පුළුවන් අපූරු නිර්මාණයක්.