අහල පහළ සමාජය තමන් ගැන මොනවා හිතයිද, පවුලේ නම්බුව සහ ගෞරවය කොහොම රැකගන්නද කියන බයෙන් සහ පීඩනයෙන් ජීවත්වන සාම්ප්‍රදායික පවුලකට මුහුණ දීමට සිදුවන නොසිතූ අකරතැබ්බයක් වටා ගෙතුණු අපූරු මලයාලම් සිනමාපටයක් තමයි "Bharathanatyam" කියන්නේ. 2024 වර්ෂයේ අගෝස්තු 30 වෙනිදා තිරගත වුණු, විනාඩි 121ක් පුරා දිවෙන මේ සලරුව Comedy සහ Drama ශානරයන්ට අයත් වන අතර IMDb දර්ශකයේ 8.0ක වැනි ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක අගයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. කතාව පැත්තට හැරුණොත්, භරතන් නායර් (Saikumar) කියන්නේ ගමේ හැමෝම බොහොම ගරු කරන, පිළිගැනීමක් තියෙන, දැඩි ප්‍රතිපත්තිගරුක පියෙක්. ඔහුගේ වැඩිමහල් පුතා වන සසි (Saiju Kurup) ගමේ පන්සලේ උත්සව සහ කමිටු වැඩකටයුතුවලට දායක වෙමින්, තමන්ගේ පාඩුවේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක්. නමුත් මේ පවුලේ සාමකාමී බව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ භරතන් නායර් හදිසියේම අංශභාග රෝගයට (Stroke) ගොදුරු වී රෝහල්ගත කිරීමත් සමඟයි. ඔහු මරණ මංචකයේ පසුවන බවත්, ජීවත් වීමට ඇත්තේ තව කෙටි කාලයක් බවත් වෛද්‍යවරුන් පවසනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේදී, පියා විසින් සිය පුතා වන සසිට ජීවිතයේ කිසිදා නොසිතූ බරපතළ රහසක් හෙළි කරනවා. ඒ, තමන්ට උතුරු කේරළයේ තවත් රහසිගත බිරිඳක් සහ පුතෙකු සිටින බවයි. එපමණකින් නොනැවතී, තමන් මියයන්නට මත්තෙන් ඒ අනෙක් පවුලේ සාමාජිකයන්ව දැක බලා ගැනීමට අවශ්‍ය බව පියා සිය අවසන් කැමැත්ත ලෙස ප්‍රකාශ කරනවා. පියාගේ මේ අන්තිම ඉල්ලීම නිසා දැඩි අසීරුතාවයට පත්වන සසිට, රහසිගතවම ඒ අනෙක් පවුල සිය නිවස වෙත කැඳවාගෙන ඒමට සිදුවෙනවා. වසර ගණනාවක් තිස්සේ තමන් රැකගත්තු පවුලේ "නම්බුව" ගමේ මිනිසුන් ඉදිරියේ කුඩුපට්ටම් වී යයිද යන දැඩි බිය මැද, මේ එකිනෙකට වෙනස් පවුල් දෙක එකම වහලක් යටට පැමිණි පසු සිදුවන අවුල් ජාලාවන් සහ නොසන්සුන්කාරී වටපිටාව ඉතාමත් හාස්‍යජනක ලෙස සිනමාපටය පුරා දිගහැරෙනවා. මලයාලම් සිනමාවටම ආවේණික වුණු, පවුල් පසුබිම් කරගත්තු සරල උපහාසාත්මක (Satirical Comedy) ශෛලිය මැනවින් භාවිත කර ඇති මෙහි සයිජු කුරුප් (Saiju Kurup) සහ සායිකුමාර් (Saikumar) ඇතුළු පිරිස තමන්ගේ භූමිකාවන් උපරිමයෙන්ම ඉටු කර තිබෙනවා. පවුලේ සැමට එකට වාඩි වී, සමාජයේ පවතින ඇතැම් බොරු සෝබන දෙස උපහාසයෙන් බලමින් සැහැල්ලුවෙන් සිනාසෙන්න පුළුවන් කදිම සිනමා නිර්මාණයකි.