ඔක්ලහෝමා ප්‍රාන්තයේ පුංචි නගරෙක තෙල් කම්කරුවෙක් විදිහට තමන්ගේ පාඩුවේ ජිවත් වෙන ජෝන් (John) ට දවසක් අහම්බෙන් බස් ටිකට් දෙකක් හම්බවෙනවා. හැබැයි මේ ටිකට් දෙකේ තියෙන්නේ තමන්ගේ බිරිඳ වන සිඩ් (Syd) සහ තමන්ගේම සහෝදරයා වෙන කෝඩි (Cody) ගේ නම්! මේක දැකලා ඇතිවෙන කම්පනයයි, මලයි එක්ක ජෝන්ට තමන්ව පාලනය කරගන්න බැරුව යනවා. මිනිහා කරන්නේ තමන්ගේම සහෝදරයා කෝඩිට වෙඩි තියලා මරලා දාන එකයි. පසුගිය 2025 මාර්තු මාසයේදී තිරගත වුණු, විනාඩි 101ක් දිවෙන "Anywhere" හොලිවුඩ් චිත්‍රපටයේ නියම සෙල්ලම පටන් ගන්නේ මෙතනින්. IMDb එකේ 6.0ක සාධාරණ රේටින් එකක් මේ කොමඩි ත්‍රිලර් (Comedy Thriller) කතාවට ලැබිලා තියෙනවා. කතාවේ ඊළඟ සුපිරිම හැරවුම වෙන්නේ ජෝන්ගේ බිරිඳ සිඩ් ගෙදර ඇවිත් මේ මළසිරුර දකිද්දී වෙන දේයි. සාමාන්‍යයෙන් කෙනෙක් මේ වගේ දෙයක් දැක්කම බය වෙලා පොලිසියට කතා කරනවනේ. හැබැයි සිඩ් කරන්නේ කලබල වෙන්නේ නැතුව, හරිම සූක්ෂම විදිහට මේ මිනීමැරුම වසන් කරලා, ජෝන්වත් ඇදගෙන වෙනත් නගරයකට පැනලා යන්න ප්ලෑන් කරන එකයි. ඔන්න ඉතින් මුන් දෙන්නා හැමදේම වහලා දාලා අලුත් නගරෙක, අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා මහල් නිවාසයක කාමරයක් කුලියට ගන්නවා. හැබැයි මුන්ගේ වෙලාව කියන්නේ, ඒ ඇපාර්ට්මන්ට් එකේ අයිතිකාරයා වෙන "වේඩ්" (Wade) මාරම අමුතු ඩයල් එකක්. මේ චරිතය කරන්නේ අපි කවුරුත් දන්න Guardians of the Galaxy ෆිල්ම්ස්වල 'ක්‍රාග්ලින්' විදිහට රඟපාන ප්‍රසිද්ධ නළු ෂෝන් ගන් (Sean Gunn) විසිනුයි. මේ අමුතු ගෙවල් අයිතිකාරයා කොහොමහරි සිඩ් සහ ජෝන්ගේ අඳුරු අතීතය, ඒ කියන්නේ අර මිනීමැරුමේ රහස හොයාගන්නවා. එතනින් නතර නොවී මූ මේ ජෝඩුව බ්ලැක්මේල් (Blackmail) කරලා සල්ලි කඩන්න පටන් ගන්නවා. තමන් කරපු අපරාධයෙන් බේරෙන්න ආපු මේ දෙන්නට ඊට වඩා ලොකු මාරාන්තික කරදරයකට තමයි මේ අලුත් තැනදී මුහුණ දෙන්න වෙන්නේ. කළු හාස්‍යය (Dark Comedy) සහ සිරා කුතුහලයක් එකට මුසු කරලා හදපු මේ කතාවේ, වේඩ්ගේ බ්ලැක්මේල් ගේම් එකෙන් බේරෙන්න සිඩ් සහ ජෝන් ඊළඟට මොන වගේ පිස්සු වැඩ කරයිද?