මලයාලම් සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු අතිශය ජනප්‍රිය වගේම ප්‍රේක්ෂකයන් ආදරය කරපු චරිතයක් වෙන "ෂාජි පාපන්" (Shaji Pappan) සහ ඔහුගේ පිස්සු නඩයේ තුන්වැනි දිගහැරුම තමයි "Aadu 3" චිත්‍රපටයෙන් අරන් එන්නේ. මිතුන් මැනුවෙල් තෝමස්ගේ (Midhun Manuel Thomas) අධ්‍යක්ෂණයෙන් පසුගිය මාර්තු 19 වෙනිදා තිරගත වුණු, විනාඩි 162ක් පුරා දිවෙන මේ කොමඩි ෆැන්ටසි (Comedy, Fantasy) චිත්‍රපටයට IMDb දර්ශකයේ 5.7ක මධ්‍යස්ථ රේටින් එකක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මෙදා පාර ෂාජි පාපන් සහ ඔහුගේ කල්ලිය පටලවාගන්නේ සාමාන්‍ය ගමේ වලි හෝ එළුවන්ගේ ප්‍රශ්න නෙවෙයි. ඔවුන් මෙවර අහඹු ලෙස කාලය හරහා ගමන් කිරීමේ (Time Travel) අමුතුම මෙහෙයුමකට මැදිවෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ "Star Dust" කියලා හඳුන්වන, කාලය පාලනය කිරීමේ අද්භූත බලයක් තියෙන විශේෂ වස්තුවක් ෂාජි පාපන්ගේ අතට පත්වීමත් එක්කයි. මෙහි ප්‍රධාන චරිතය කරන ජයසූර්ය (Jayasurya) සුපුරුදු ෂාජි පාපන්ගේ චරිතයට අමතරව, 1790 කාලයේ ජීවත් වුණු "පද්මනාභ රජුගේ" චරිතයත් රඟපාමින් ද්විත්ව රංගනයක නිරත වෙනවා. කාලය හරහා අතීතයට යන මේ නඩයට එහේදී සුල්තාන් අසාම් ඛාන් (Vinayakan) සහ ලෝඩ් වෝල්ටර් ජෝසප් (Sunny Wayne) ව මුණගැහෙනවා. මේ චරිත දෙක ඇත්තටම අපි කලින් කොටස්වල දැකපු "ඩූඩ්" සහ "සාතන් සේවියර්" කියන චරිතවල අතීත භවයන් වීම විශේෂත්වයක්. මේ අතීතයේ ඉන්න චරිත සහ වර්තමානයෙන් ගියපු පාපන්ගේ කල්ලිය අතර ඇතිවෙන පටලැවිලි, ගැටුම් සහ හාස්‍යජනක සිදුවීම් මාලාව තමයි කතාව පුරාම තියෙන්නේ. ඔවුන්ට අමතරව සුපුරුදු පරිදි අරක්කල් අබු ලෙස සයිජු කුරුප් ද, සර්බත් ශමීර් ලෙස විජේ බාබු ද රංගනයෙන් දායක වෙනවා. පරණ හුරුපුරුදු පිස්සු චරිත සෙට් එකම එකතු වෙලා අලුත්ම විදියේ ෆැන්ටසි සහ ටයිම් ට්‍රැවල් වටපිටාවක කරන මේ බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් කොමඩි ගේම කොහොම කෙළවර වෙයිද කියලා ඔයාලම නරඹලා දැනගන්න.