අධික වේගයෙන් ධාවනය වන අධිවේගී දුම්රියක්, ඒ තුළ සඟවා ඇති මාරාන්තික බෝම්බයක් සහ දුම්රියේ වේගය අඩු කළහොත් සිදුවන දැවැන්ත විනාශයක්... හොලිවුඩයේ සුප්‍රසිද්ධ "Speed" චිත්‍රපටයේ ආභාසය ලබමින්, ඊට නොදෙවෙනි ත්‍රාසජනක අත්දැකීමක් රැගෙන එන අලුත්ම තායිවාන සිනමා නිර්මාණයක් තමයි "96 Minutes" කියන්නේ. පසුගිය 2025 සැප්තැම්බර් 5 වෙනිදා නිකුත් වුණු, විනාඩි 117ක් පුරා දිවෙන මේ සලරුව Action, Crime සහ Romance යන ශානරයන් ඔස්සේ නිර්මාණය වී ඇති අතර IMDb දර්ශකයේ 6.1ක සාධාරණ හොඳ ප්‍රේක්ෂක අගයක් ලබාගෙන තිබෙනවා. හන්ග් ට්සු-හ්සුවෑන් (Hung Tzu-hsuan) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙහි ඔස්ටින් ලින් (Austin Lin), විවියන් සුන්ග් (Vivian Sung) සහ එඩිසන් වැන්ග් (Edison Wang) වැනි දක්ෂ තායිවාන නළු නිළි පිරිසක් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්තට හැරුණොත්, සාමාන්‍ය ගමනාන්තයක් බලා ඇදෙන අධිවේගී දුම්රියක් තුළයි මුළු සිදුවීමම සිද්ධ වෙන්නේ. හිටපු බෝම්බ නිශ්ක්‍රීය අංශයේ ප්‍රවීණයෙකු වන කෙන්-රෙන් (Austin Lin) සහ ඔහුගේ පෙම්වතිය වන හුවාන්ග් ෂින් (Vivian Sung) මෙන්ම, තමන්ගේ බිරිඳගේ සිත සුවපත් කිරීමේ අරමුණින් ගමන් ගන්නා භෞතික විද්‍යා ගුරුවරයෙකු වන ලියු කායි (Edison Wang) ද මේ දුම්රියේ ගමන් කරනවා. නමුත් ඔවුන් කිසිවෙකුත් නොසිතූ මොහොතක දුම්රිය පාලන මධ්‍යස්ථානයට බිහිසුණු පණිවිඩයක් ලැබෙනවා. ඒ, දුම්රිය තුළ මාරාන්තික බෝම්බයක් අටවා ඇති බවත්, දුම්රියේ වේගය නියමිත සීමාවට වඩා අඩු කළහොත් හෝ දුම්රිය නැවැත්වීමට උත්සාහ කළහොත් එය ක්ෂණිකව පුපුරා යන බවත්ය. මේ මාරාන්තික තර්ජනය පිටුපස තිබෙන්නේ මීට වසර තුනකට පෙර සිදුවූ, පුද්ගලයන් 26 දෙනෙකුට ජීවිත අහිමි කළ ද්විත්ව බෝම්බ ප්‍රහාරයක අඳුරු අතීතයයි. එදා බලධාරීන් විසින් සැබෑ වැරදිකරුවන්ව සඟවා, සත්‍යය යටපත් කර දැමූ නිසා, එම ඛේදවාචකයෙන් බැටකෑ වින්දිතයෙකු මෙවර යුක්තිය සහ පළිගැනීම පතා දුම්රියේ සිටින සිය ගණනකගේ ජීවිත බිල්ලට තබා මේ විනාශකාරී ක්‍රීඩාව ආරම්භ කර තිබෙනවා. දුම්රියේ වේගය පාලනය කරගනිමින්, මගීන්ගේ ආරක්ෂාව සලසමින්, දුම්රිය ඇතුළේ සැඟවී සිටින බෝම්බකරු කවුද සහ බෝම්බය අක්‍රිය කරන්නේ කෙසේද කියා කෙන්-රෙන් ඇතුළු පිරිස කාලයත් සමඟ කරන සටන මෙහි ඉතාමත් නොසන්සුන්කාරී සහ කුතුහලය පිරි ජවනිකා රැසක් සමඟින් දැකගත හැකියි. ධාවනය වන දුම්රියක් තුළ සිදුවන ආතතියෙන් (Suspense) පිරි සටන් සහ වේගවත් ක්‍රියාදාම කතා නැරඹීමට ප්‍රිය කරන සිනමා රසිකයන්ට මෙය කදිම තේරීමක් වනු නොඅනුමානයි.