එක පැත්තකින් මුළු නගරයක්ම සුනුවිසුනු කරගෙන හමායන Category 5 මට්ටමේ දරුණු සුළි කුණාටුවක්; අනිත් පැත්තෙන් ඒ මහා ගංවතුරත් එක්කම නේවාසික වීදි පුරා පිහිනා එන බඩගිනි මෝරු රංචුවක්! Netflix සිනමා පටයක් විදිහට පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් වුණු "Thrash" චිත්‍රපටයෙන් අරන් එන්නේ සර්වයිවල් (Survival) ශානරයේ සිනමාලෝලීන්ගේ ඇඟ කිලිපොළා යන විදියේ අපූරු මාරාන්තික අත්දැකීමක්. මිනිත්තු 84ක් වැනි කෙටි කාලයක් ඇතුළත උපරිම තිගැස්මක් ලබාදෙන මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ නිවසින් පිටතට යාමට දැඩි මානසික බියක් දක්වන ඩකෝටා (Dakota) කියන තරුණියයි. ඇයත් සමඟ මේ මහා ස්වභාවික විනාශය මැද අහම්බෙන් කොටු වෙන්නේ ගැබිණි මවක් වන ලීසා (Lisa). සාමාන්‍ය වෙලාවකදී වුණත් ගෙයින් එළියට යන්න බය ඩකෝටාට, තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි තවත් නූපන් දරුවෙකුගේ ජීවිතයත් වෙනුවෙන් මේ අතිභයානක වටපිටාව ඇතුළේ නොසිතූ සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. මුහුදු ජලයෙන් මුළු නගරයම යටවෙද්දී, වතුරට එකතුවෙන ලේ සුවඳ ඔස්සේ මිනිස්සුන්ව දඩයම් කරන්න එන මෝරුන්ගෙන් බේරෙන්න මේ දෙන්නා දරන උත්සාහය නිසා කතාව තත්පරයෙන් තත්පරය දැඩි කුතුහලයකින් ඉදිරියට ඇදෙනවා. මෙහි ඇති සුවිශේෂීම පැත්තක් තමයි එහි අඩංගු දෘශ්‍ය ප්‍රයෝග සහ පසුබිම් ශබ්ද සංකලනය (Sound Effects). ජලයෙන් යටවුණු නිවාස සහ පාළු වීදි ඇතුළේ මෝරුන් සැරිසරන දර්ශන ප්‍රේක්ෂකයාට සැබෑවටම ඒ තැන ඉන්නවා වැනි බියකරු හැඟීමක් සමීප කරවීමට සමත්. සරල නමුත් වේගවත් ත්‍රාසජනක (Horror Thriller) අත්දැකීමක් විඳගන්න කැමති, විශේෂයෙන්ම "The Shallows" හෝ "Crawl" වැනි සතුන්ගෙන් බේරී පලායන සිනමාපටවලට ලැදි රසිකයන්ට කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට නරඹන්න පුළුවන් සුපිරි නිර්මාණයක්.