පාසල් නිවාඩු කාලේ එකතු වෙලා YouTube තරඟයකින් දිනන්න බලාගෙන හොල්මන් වීඩියෝවක් කරන්න යන යාළුවෝ සෙට් එකකට සිද්ධ වෙන අකරතැබ්බක් වටා තමයි "The Ghost Game" චිත්‍රපටය ගොඩනැඟිලා තියෙන්නේ. 2025 අවුරුද්දේ තිරගත වුණු මේ දකුණු කොරියානු හොරර් ත්‍රිලර් නිර්මාණය, මුල ඉඳන් අන්තිම වෙනකම්ම හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් එකක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ජා-යොන් (Ja-yeon) සහ එයාගේ යාළුවෝ ටික නිවාඩු කාලේදී ලොකු YouTube වීඩියෝ තරඟෙකට ඇතුළත් වෙනවා. එයාලගේ එකම අරමුණ වෙන්නේ හැමෝම අතරේ ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙන විදියේ වීඩියෝ එකක් කරලා මේ තරඟයෙන් කොහොම හරි දිනන එකයි. ඉතින් මේකට එයාලා තෝරාගන්නේ මියගිය අය එක්ක කතා කරන්න පුළුවන් අපූරු යාතුකර්මයක් ගැන වීඩියෝ එකක් කරන්නයි. මේ වැඩේ රූගත කිරීම් කරන්න එයාලා යන්නේ බොහෝ කාලෙක ඉඳන් අතහැරලා දාලා තියෙන පරණ ජල පොම්පාගාරයකටයි. මුලින්ම එයාලා හිතාගෙන හිටියේ ඇත්තටම මේ යාතුකර්මය කරන්නේ නැතුව, නිකන්ම නිකන් රඟපාලා විතරක් වීඩියෝ එක හදන්නයි. හැබැයි ඒ පාළු පරිසරයට ගියාට පස්සේ එයාලටම හිතෙනවා මේක බොරුවට කරන්නේ නැතුව ඇත්තටම කරලා බැලුවොත් වීඩියෝ එක තවත් හොඳට තියෙයි කියලා. හැබැයි එයාලා සෙල්ලමට වගේ ඒ යාතුකර්මය ඇත්තටම පටන් ගත්තට පස්සේ, ඒ අතහැරලා දාපු තැන හැංගිලා තිබුණු අද්භූත බලවේග අවදි වෙන්න ගන්නවා. එතනින් පස්සේ මේ යාළුවෝ හැමෝටම මුහුණ දෙන්න වෙන්නේ එයාලා හීනෙකින්වත් නොහිතපු විදියේ බියකරු සිදුවීම් මාලාවකටයි. එයාලට ඒ අනතුරෙන් බේරිලා ආපහු පණ පිටින් එන්න ලැබෙයිද කියලා චිත්‍රපටය බලලම තමයි දැනගන්න වෙන්නේ. හොල්මන් සහ අභිරහස් කතා වලට ආස කරන අයට ගැස්සිලා බලන්න පුළුවන් අපූරු කොරියානු නිර්මාණයක්.