කවදාවත් දැකලා නැති තමන්ගේ සැබෑ අම්මා කියලා හිටිහැටියේම කෙනෙක් ඉස්සරහට ආවොත් ඒක ලොකු සතුටක් වුණත්, ඒ ආවේ ඇත්තම අම්මා නෙවෙයි දරුණු අමනුෂ්‍ය බලවේගයක් නම්? අන්න ඒ වගේ බියකරු සිදුවීමක් වටා තමයි "Kuntilanak 2" ඉන්දුනීසියානු හොරර් චිත්‍රපටය ගොඩනැඟිලා තියෙන්නේ. 2019 වසරේ තිරගත වුණු මේ නිර්මාණය, හොල්මන් කතා වලට ආස අයට ගැස්සිලා බලන්න පුළුවන් ජාතියේ එකක්. කතාව පැත්තට හැරුණොත්, මේකේ ඉන්නේ පුංචි ගැහැණු ළමයෙක්. මෙයා උපන්දා ඉඳන් තමන්ගේ අම්මව දැකලා නැති නිසා, ඇය ගැන කිසිම මතකයක් හිතේ නැහැ. හැබැයි දවසක් හිටිහැටියේම මේ පුංචි දුවගේ සැබෑ අම්මා කියලා අභිරහස් ගැහැණු කෙනෙක් මෙයාලව හොයාගෙන එනවා. එතනින් පස්සේ තමයි මේ හැමෝගෙම ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්න ගන්නේ. ඇත්තටම මේ ආවේ ඒ ළමයාගේ ඇත්තම අම්මාද, මෙච්චර කාලයක් තිස්සේ මඟහැරලා ඉඳලා දැන්ම හොයාගෙන ආවේ ඇයි වගේම, අම්මා කියාගෙන ආපු මේ ගැහැණු කෙනා කරන්න හදන දරුණු වැඩේ මොකක්ද කියලා කතාව බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉන්දුනීසියාවේ ජනප්‍රවාද වල එන භයානක යක්ෂණියක් වටා ගෙතුණු මේ කතාව, අවසානය වෙනකම්ම ලොකු කුතුහලයකින් වගේම තිගැස්මකින් යුතුව එකදිගටම බලන්න පුළුවන් හොඳ හොරර් සිනමාපටයක්.